දළඳා සමිදු ඇයි තවමත් සසරේ අපි?

    අපි මනුෂ්‍යන් ලෙස මෙලොව පහළ වූවෝ වෙමු. පෙර සංස්කාර මත කුමක් හෝ සංඛත ධර්මයක් මත අප ලංකාව නැමති පින් බිමෙහි, සිංහල බෞද්ධයන් ලෙස මතු වීමු. බෞද්ධාගමට අනුව මිනිස් අත්බැව්හි වටිනාකම උදම් අනමු. අවසන දැනට පරමායුෂය වන වසර 65 කට ආසන්නව ආයු වලඳා මිහිදන් වෙමු.
බෞද්ධයකු වී ඔබ දැනට ලබාගෙන ඇති හරය කුමක්දැයි ඔබ සිතුවේද? මදක් හැරී බලන්න, දැනට පවතින තත්වය අනුව වසංගතයෙන් ඔබගේ මරණය සිදු වුවහොත්? ඔබ කුමක් කරන්නේද?
නිවනක් පෙනෙන්නට නොමැති ජීවීතයේ, හෙට දිනයේ ඔබට නික්මෙන්නට වුවා යැයි සිතන්න. ඔබ ලොමු දැහැගන්නා ප්‍රශ්නයකි මා ඒ යොමු කලේ. තරුණ ජවය, තරුණ මදය මත බලපවත්නා තාරුණ්‍යය විමසාවි, "ඔබ උමතුවෙන්ද? හෙට කොහොම මැරෙන්නද ?" කියා. නමුත් පණ තණ අග පිණි බිඳුවක් ලෙස අර්ථකතනය කර ඇති දහමක ඔබෙත් මගෙත් ජිවිතය නිශ්චිත යැයි කිව හැක්කේ කාටද? හෙට දිනයේ හෝ ලොව හැර යන්නට සිදු වුවහොත් ඔබට හැකිද මෙය හැර යන්න.? සැබැවින්ම නොහැකිය. මන්ද යත් මේ තරුණ වයසට ඔබ ඔබගේ ඊළඟ ආත්මය යහපත් වන්නට සමහර විට ආධ්‍යාත්මික ප්‍රතිපත්තියක නොයෙදී ඇති බැවිනි.
    මහාභද්‍රකල්පයක, කල්ප විනාශයට පෙර බුදුදහම, හා බණ පදයක් තවමත් ඇසීමට මහත් භාග්‍යක් සහිතව සංසේදජ ව මෙලොව පහල වූ අප ඉක්මන් විය යුතුය. තවත් 2500 ක වසර ගනනක් ගෙවී ගිය තැන ගෝතම ගොයුම්ගොත් සසුන අවසන් වන්නේය.ඉතින් ඊට පසු අබුද්ධස්ස කාලය එළඹෙන්නේය. බණ පදයක් ඇසෙන කාලයක් ගැන ඉන් පසු නිශ්චිත නොවේ. බොහෝ අය පින්කම් අවසානයේ මෛත්‍රි බුදුන් දැක නිවන් දැකීමට ආශා කරති .එය කොතරම් මුග්ධ කමක්/ භයංකාර පැතුමක් දැයි මේ සටහන අන්තයේදී ඔබ තේරුම් ගනු ඇති.
    බුදු කෙනෙකු ලොව පහළ වන්නේ, ඉතාම කළාතුරකිනි. එය ආශ්චර්යකි. පස් මහා බැලුම් බලා උන්වහන්සේ ලොව පහල වෙති. උන්වහන්සේගේ පහළ වීමත් සමග තමා අතින් බණ අසා නිවන් යන පිරිස දිව නෙතින් පිරික්සා බලන්නේය. එම බුද්ධසාසනය තුල නිවන් දැකීමට පින් ඇති අය පමණක් නිවන් දකිති. බුද්ධ කාලයේ ඉපදුණද අපි නිවන් යන්නේ නැත. නිවනට අවශ්‍ය පින් කිරියවත් සම්පූර්ණ කර නොමැති නම් නිවන් දැකිය නොහැක. උදාහරණයක් ලෙස අපිත් පසු ගිය බුද්ධ සාසනය තුල ඉපදි ඉන්නට ඇත. නමුත් පින මෝරා නොමැති කම නිසාවෙන් අපට බණ ඇසීමට හිතක් පහල නොවෙන්නට ඇත. සමහර විට අප බමුණු වෘත සමාදන්වන්නට ඇත. බලන්න ගෞතම බුදු සසුනේ පටාචාරව දෙස, ඇය තම ජීවිතයේ කල පිනක් තිබේද? නැත. අංගුලි මාල මිනිසුන් 999 ක් මැරීය. ඔහු කල පිනක් තිබේද? නැත. නමුත් ඔවුන් සංසාරිකව රැස් කරගත්, වඩාගත් ප්‍රඥාවෙන් යුතු විය. සමහර විට ඔවුන් සාරාසංඛ්‍ය කල්ප ලක්ශ්‍යක් මීට ඉහත බුදු සසුන් වල නිවන් පතන්නට ඇත. එම හේතුව නිසාම ඌණ පුරණය වූ පාරමිතා, එක බණ පදයෙන් සම්පූර්ණව රහත් වී ඇත. අද බොහෝ අය අනේ අප ඒ කාලේ ඉසිපතනේ හිටියා නම් කියා මැසිවිලි නගති. එහෙත් අප ඒ කාලේ ඉන්න ඇති .නමුත් පින් මෝරා නොතිබෙන්නට ඇති. සමහර විට බණ අසන්නට ඇති. නොතේරෙන්නට ඇති.

    ඊට අමතරව තවත් බරපතල කරුණක් පවතී. ඔබ කිසියම් පිනක් සිදුකොට, පැතුමක් පතයි, එය බුදු වරයෙක් දැක නිවන් දැකීමට නම් එයට බොහෝ කල් ගතවිය හැක. එය බලවත් ප්‍රාර්ථනයක් වන නිසා ඔබට නිවන් දැකීමට මහත් කාලයක් ගතවේ. බොහෝ දෙනාගේ ප්‍රාර්ථනය මෙතේ බුදුන් දැක නිවන් දැකීමය. එහෙත් එම ප්‍රාර්ථනය එසේ දරාසිටින අතර තුර සතර අපායට වැටුණොත්? ඉන් මිදීමට බොහෝ කලක් ගත්විය හැක. බුදු රජාණන්වහන්සේගේ පංචස්කන්ධය දැකීමට පැතීම යනු රූප තණ්හාවය, ඇස පිනවීමට ඇති ආශාවෙන් යුක්තය. ධර්මය දැකීමට බුදුන් දැකීමට අවශ්‍ය නොවේ. ධර්මය පිළිපැද ධර්මය දැක එය ඔස්සෙ ගමන් කළ යුතු වෙයි. බොහෝ අය පින්කම් සිදුකර පතන්නේ සැප සම්පත්ය. එය කෙලෙස් සංස්කාර සහිතය. එය තව දුරටත් ඇස කන පිනවීමට වස්තු තණ්හාව එකතු කිරීමකි. නමුත් පිනක් සිදු කර නිවන පතන්න, ප්‍රතිපත්තියේ යෙදෙන්න. "යො ධම්මං පස්සති - සො මං පස්සති" කියන්නට හේතුව සිතා බලන්න. එහි තේරුම යමෙක් ධර්මය අනුගමනය කරන්නේද ඔහු මා දකී යන්නයි. මෙසේ බුදු වදන කියන්නට හේතුව නම් බුදුවරයෙකු ගෙන්ම බණ අසා නිවන් දකින්නට හැකිය යන්නක් නොමැත. උට්ඨාන වීර්‍යයෙන් සම්මා වායාම උපදවා මැදුම් පිළිවෙත අනුගමනය කළ ඕනෑම අයෙකුට නිවන මේ ආත්මයේම දුර නොවේ (ඔබ ඉහත බුදු සසුනක බලවත් පැතුමක් කර නොමැති නම්)
ව්දර්ශනා භාවනා සාකච්වක ඉතාම සාරාංශ, සරල විග්‍රහයකි.



උරේෂා රවිහාරි වීරක්කොඩි 
16 වසර කණ්ඩායම

No comments:

Post a Comment