ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන

කැලණිය රජ මහා විහාරය


    බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් කැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක.
    මහාවංශයට අනුව, බුදු හිමි වැඩ සිට ධර්මය දේශනා කළ මැණික් එබ්බවූ ආසනයක් නිධන් කොට කැලණියෙ ස්ථූපය ඉදිකරවා තිබේ.
මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් බුද්ධත්වයෙන් වසර අටක් ඇවෑමෙන් එළඹුණු වෙසක් මස පුර පසළොස්වක දින අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ කැලණියට සපැමිණියේ ලක්බිමට වැඩි තුන්වැනි සදහම් චාරිකාවට ඓතිහාසික සටහනක් තබමිනි. සම්බුදුරජාණන් වහන්සේ කැලණි රාජධානියේ දී ධර්මය දේශනා කළ ස්ථානයේ දී ඒ මාණික්‍ය ආසනය නිධන් කර කුඩා ස්තූපයක් ප්‍රථමයෙන් සෑදුවේ මණිඅක්‍ඛිත නා රජතුමා විසින් බව කියැවෙයි.
    ක්‍රි.පූර්ව. 207 වසරේ දී උත්තිය කුමාරයා කැලණි විහාරයේ ප්‍රවර්ධනයට දායක වූ අතර යඨාලතිස්සරජතුමා කැලණි චෛත්‍ය සැට රියනක් උසට බන්දවා පස් මහල් පහයක්ද ඉදිකර කැලණි විහාරය ඉතා දියුණු තත්ත්වයට පත් කළ බව සඳහන් වෙයි. පසුව කාලිංග මාඝ ආක්‍රමණයේ දී කැලණි විහාරය විනාශ විය. පෘතුගීසි, ලන්දේසි යුගවලදී මෙම කැලණි විහාරය සහමුලින් විනාශ කර දමන ලදී. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මාපිටිගම බුද්ධරක්‍ඛිත හිමියන්ට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දී කැලණි විහාරය නැවත ගොඩ නංවන ලදී.
    1779 වසරේ කැලණි වෙහෙර සෙල්ලිපියෙන් ඒ බව සනාථ වේ. කෝට්ටේ රාජ්‍ය සමයේ දී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි.ව. 1509 දී පිහිටුවන ලද කල්‍යාණී ශිලා ලිපිය පසු කලෙක පෘතුගීසීන් විසින් කැබැලි අටකට කඩා බිඳ දැමූවද දැනට එය සකස් කර කැලණි විහාර භූමියේ සුරක්‍ෂිතව තබා ඇත. කැලණි විහාරයේ පැරැණි බුද්ධ මන්දිරය මහනුවර යුගයේ කරවන ලද බව විශ්වාස කෙරෙයි. මෙහි ඇති සිතුවම් බු.ව. 2394 පමණ වූ මහනුවර යුගයට අයත් ය. අද අප දකින කැලණියේ අලුත් විහාරය ඉදිකිරීම ආරම්භ වන්නේ 1927 වර්ෂයේ ය. සෝලියස් මැන්දිස් නම් මහා කලා ශිල්පියා අඳින ලද විශිෂ්ට සිතුවම් පෙළ නිර්මාණය වන්නේ 1930 වසරේදීය. වසර 19 ක් පමණ කාලයක් තිස්සේ ගොඩනැඟෙන මෙම විහාර මන්දිරය ඉදිවී අවසන් වන්නේ 1946 වසරේ දී ය.
    විනාශයට බඳුන් වෙමින්, නැවත පණ ලබමින් අද ද සැදැහැති බොදු ජන පහන් සංවේගය පිණිස අහස්කුස සිසාරා නැඟී වැජඹෙන කැලණියේ මහ සෑ රදුන් අවසන් වරට ප්‍රතිසංස්කරණ කෙරෙන්නේ තුන්වැනි විජයබාහු රාජ්‍ය සමයේය. ධ්‍යානාගාර හැඩැති ස්තූපයේ උස අඩි 90 කි. වට ප්‍රමාණය අඩි 180 කි. තම දිවියේ දී එක්වරක් හෝ කැලණිය වන්දනාමාන කරගත යුතු බවට බෞද්ධ ජනහද කිඳා බැසගත් කියමනක් තිබේ.



අත්තනගල්ල රජ මහා විහාරය


    බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන මෙරට වැදගත් බෞද්ධ පුදබිමක් ලෙස සැළකේ. එය අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටා තිබේ. අත්තනගල්ල රජ මහා විහාරය ක්‍රි. ව. 251-253 අතර සමයේ රජකම් කල, සිරිසඟබෝ රජතුමා තම හිස දන්දුන් ස්ථානය ලෙස හා බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කල අත්තනගල්ල නම් ස්ථානය වියහැකියයි සැලකෙන ස්ථාන දෙකින් එකකි. කෙසේ වූවද සිරිසඟබෝ සිදුවීමට අදාල යයි සැලකෙන අනික් ස්ථානය ලෙස සැලකෙන හත්ථිකුච්චි විහාර පරිශ්‍රයෙන් නිවැරදි සාධක බොහොමයක් හමුවීම නිසා අත්තනගල්ල රජ මහා විහාරයේ ඉතිහාසය සම්බන්ධව වර්ථමානයේ ගැටළුවක් පැනනැගී ඇත. අත්තනගල්ල විහාර වංශයට අනූව, උපතිස්ස රජ සමයේ (ක්‍රි. ව. 365-406) මෙහි විහාරවාසීව වැඩසිටි භික්ෂූන් වහන්සේ නමක් භාවනා ප්‍රගුණ කිරීම මගින් අරහත් භාවයට පත්වූ බව කියැවේ.



වාරණ රජ මහා විහාරය



    වාරණ රජමහා විහාරය මෙරට බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුල අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මංගලතිරිය ග්‍රාමයෙහි පිහිටා තිබේ. වාරණ රජමහා විහාරය වළගම්බා රජ සමයේ ඉදිකරවන ලද්දක් යැයි විශ්වාස කෙරෙන විහාරයක් වෙයි. එහි කෝට්ටේ යුග‍ය ඇතුළු තවත් යුග ගණනාවක බිතු සිතුවම් දැකිය හැකි අතර දැන් ඒවා මැකී පලුදු වී ඇත. දෙවන පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, හයවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරු විසින් වරින්වර මෙහි ප්‍රතිසංස්කරණය කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

දේවානම්පියතිස්ස රජ සමය
    පුරාවිද්‍යාත්මක සාධක අනූව වාරණ රජමහා විහාරයේ ඉතිහාසය ක්‍රි. පූ. 3 - 2 පමණ සියවස් කරා ඇදී යයි. පූජා භූමියේ වූ දිග්ගලෙහි කි.පූ. 3 වැනි සියවසේ මුල් අවදියට අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපියෙන් මේ බව තහවුරු කර ඇතැයි සඳහන් වෙයි. එම ශිලා ලේඛනයට අනූව දේවානම්පිය තිස්ස රජ සමයේ, එනම් ශ්‍රී බු. ව. 240 දී පමණ මෙම විහාරය තිස්සදත්ත නම් තෙරුණ්වහන්සේ නමකට පූජා කල බව පැවසෙයි.

වළගම්බා රජ සමය
වළගම්බා රජ විසින් වාරණ විහාරයේ ගල් කටාරම් කොටවන ආකාරය දැක්වෙන සිතුවමක්
ක්‍රි. පූ. 103 දී පමණ වළගම්බා රජ (වට්ට ගාමිණී අභය රජ) සමයේ එල්ලවූ ද්‍රවිඩ ආක්‍රමණයෙන් පසු වළගම්බා රජු වසර 14 ක් සැඟවී සේනා සංවිධානය කල අතරේ, එකල මායා රටෙහි පිහිටි මෙම පුදබිමෙහිද සැඟවී සිටි බව ඉතිහාසයේ සඳහන් වෙයි. පසුව ක්‍රි. පූ. 89දී වළගම්බා රජු නැවතත් ලංකා රාජ්‍යයෙහි රාජ්‍යත්වයට පත්වූ පසු, සේනා සංවිධානය කල සමයේ තමාට සැඟවී සිටීමට රැකවරණය දුන් මායා රටෙහි සහ රුහුණෙහි සියළුම ගල්ලෙන් විහාරාරාම බවට පත් කල බැව් පැවසේ. රජු විසින් කරවූ මායාරටෙහි විහාරාරාම අතර මෙම ඓතිහාසික වාරණ රජමහා විහාරයද ප්‍රකට වෙයි.

දෙවන පණ්ඩිත පැරකුම්බා රජ සමය
දඹදෙණි යුගයේ දෙවන පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු ගේ රාජ්‍ය සමයෙහි මෙම විහාරස්ථානය, දේවප‍්‍රතිරාජ අමාත්‍යයා ලවා දියුණු කල බැව් පැවසෙයි.

සයවැනි ශ්‍රී පැරකුම්බා රජ සමය
ශ්‍රී බු. ව. 1488 පමණ කෝට්ටේ යුගයේ සයවැනි පැරකුම්බා රජ සමයේ, මෙහි ධර්මශාලාව ඇතුළු සම්පූර්ණ වාරණ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කෙරූ බවට සඳහන් වෙයි.
අටවන වීර පැරකුම්බා රජ සමය
කෝට්ටේ යුගයේ අටවන වීර පැරකුම්බා රජ මෙම විහාරයෙහි බණමඩුවක් සාදා පිංකමක් සිදුකල බව පුරාණ ඇල්පිටිය තඹ සන්නසෙහි සඳහන් වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය
මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදීද මෙම විහාරස්ථානය යළි ප්‍රතිසංස්කරණය කල බව සහ ඊට කෙත්වතු පූජා කල බවට තොරතුරු සඳහන් වෙයි.

විහාරයේ සැකැස්ම
වාරණ රජමහා විහාරය ප්‍රධාන මළු තුනකින් සමන්විත වෙයි. ඒවා නම්,
• පහත මළුව - විහාරයේ පහත මළුවට, සෙල් ලිපිය සහිත දිග්ගල හා ලෙන් හතර, ආවාස ගෙය සහ ධර්ම ශාලාව සහිත ලෙන අයත් වෙයි.
• මැද මළුව - විහාරයේ මැද මළුවට, ලෙන තුල පිහිටි මහා විහාරයත්, ඉපැරණි සිදුවම්, ලෙන අසල පිහිටි චෛත්‍යය, පෝය ගෙය, දේවාලය පිටිපස ඇති ලෙන සහ ලිපිය අයත් වෙයි. මීට අමතරව මැද මළුවෙහි සඳකඩපහණ් 4ක් දැකගැනීමට හැකිවේ.
• උඩ මළුව - උඩ මළුව, ලෙන් විහාරය, ලෙන් ආවාසය, පොකුණ, පැරණි ගල්ලෙන සහ ගල මත පඩිපෙල යන අංගයන්ගෙන් සමන්විත වේ.



පිළිකුත්තුව රජ මහා විහාරය



    ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ මහර ප්‍රා.ලේ. කොට්ඨාසයට අයත් ඌරුවල් පේරුවෙහි පිහිටා තිබෙන ප්‍රාග් ඓතිහාසික පුදබිමකි මෙම පිළිකුත්තුව රජ මහා විහාරය. මෙම විහාරය මෙරට ලෙන් විහාර සම්ප‍්‍රදාය තුල ඉතා වැදගත් කමක් උසුලන, ඓතිහාසික බෞද්ධ පුදබිමක් වෙයි. පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමියෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3වන සියවස පමණ තෙක් අතීතයට දිවෙන බව පැවසෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ දී මේ වන අරණ බෞද්ධ භික්ෂූන්ට භාවනානුයෝගීව සිටීමට සුදුසු වන පරිදි වැඩි දියුණු කොට තිබූ බව පැරණි පුරාවිද්‍යා ලේඛනවල සඳහන් වේ.
    මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් ලෙස පැවැති බවත්, එසේම වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් බවත් පැවසෙයි. අනුරාධපුර යුගයේදී භික්ෂූන් වහන්සේලා මෙහි පැවැති ලෙන් කුටි තුල, භාවනායෝගිව වැඩ සිටි බවටද සාධක පවතියි. මේවන විට කර ඇති කැණිම් තුලින් හමුවු සාධක මතද මෙම පුදබිමේ ඓතිහාසික බව කියාපායි. ඉපැරණි පොශිල, රක්ත වර්ණ වලං කැබලි, පබළු වර්ග, ගල් ආයුධ හා පොළොන්නරු දඹදෙණි යුගවලට අයත් කාසි වර්ගද ඒ අතරින් ප්‍රධාන වෙයි. අද පවතින තත්ත්වයට විහාරය සංවර්ධනය වි ඇත්තේ මහනුවර යුගයේදි හා ඊට පසු කාලයේදීය. පිළිකුත්තුව රජ මහා විහාරයේ ප‍්‍රධානතම ගොඩනැගිල්ල ලෙස ලෙන් විහාරය හඳුනා ගැනේ. මෙහි සැතපෙන පිළිමයක්, හිටි පිළිමයක් සහ සමාධි පිළිමයක්ද, නුවර යුගයට අයත් සිතුවම් රැසක්ද පවතියි. විහාරයේ වූ නා පෙණ හැඩැති ගල් ලෙන යට ඉදි කොට තිබෙන ස්තූපය, නුවර යුගයට අයත් වෙයි. ඊට ඉදිරිපසින් බෝධීන් වහන්සේලා දෙනමක් රෝපිත අතර, ඉන් එකක් ‘කුමර බෝධිය’ ලෙසත්, අනෙක ‘කුමරි බෝධිය’ ලෙසත් හැඳින්වේ.



උත්තරාරාම පුරාණ විහාරය


    උත්තරාරාම පුරාණ විහාරය (මාළිගාගොඩැල්ල විහාරය‎ ලෙසින්ද හැඳින්වේ) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ උඩුගම්පළ පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. අටවන පරාක්‍රමබාහු රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ නවවන පරාක්‍රමබාහු රජු විසින් කෝට්ටේ රාජධානිය පාලනය කල අතරවාරයේ, ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු වූ තනිය වල්ලභ මාදම්පේ ප්‍රදේශයත්, සකල කලා වල්ලභ උඩුගම්පල ප්‍රදේශයත් පාලනය කරන ලදී. රාජාවලිය සහ අලකේෂ්වර යුද්ධය වැනි ඉතිහාසමය ග්‍රන්ථයන් මගින් සනාථ කෙරෙන තොරතුරු අනූව, උඩුගම්පල සහ එහි අවට ප්‍රදේශය කෝට්ටේ රාජධානි සමයේදී උප රාජධානියක් වූ බැව් සඳහන් වෙයි.



අරුණ ප්‍රනාන්දු
16 වසර කණ්ඩායම


No comments:

Post a Comment