මහින්දාගමනය සහ එහි පසුබිම

“සමනාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉදාගතා “

“ශ්‍රමණයෙනි, අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු.”
    දෙවන පෑතිස් රජ සමයේදී සිදු වූ මහින්දාගමනයත් සමග මෙරට විශාල සමාජ, ආර්ථික, සංස්කෘතික, ආගමික සහ දේශපාලනික පුනුරුදයක් ඇති විය. එතැනින් පසු ලක්දිව හැදියාව, ජීවන ක්‍රමය, සමාජ ක්‍රමය සහ අධ්‍යාපනය විශාල ලෙස පෙරලියකට ලක් විය.මුව දඩයමේ යෙදී සිටි දෙවන පෑතිස් රජතුමාට ඉහත ගාථාව දේශනයෙන් අනතුරුව සිදු කල බුද්ධි පරීක්ශනයෙන් , රජතුමාගේ අවබෝධ ඥානය තහවුරු කරගත් මිහිදු මහ රහතන් වහන්සේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. ඉන් අනතුරුව ගම් නියම් ගම් පුරා සද්ධර්මය ව්‍යාප්ත වෙමින් මිත්‍යා දෘශ්ඨිය, සම්‍යක් දෘශ්ඨිය බවට පත් කිරීමට සමත් විය.
    මහින්දාගමනය සිදුවන විට යක්ශ, නාග, දේව ආදී ගෝත්‍ර මෙරට ජීවත් වූ බව වංශ කතා වලින් පැහැදිලි වෙයි. ඒ අනුව මිහිදු හිමි වැඩම කිරීමට පෙර සමය හෙවත් ප්‍රාග් බෞද්ධ සමයේ විධිමත් ආගමක් නොවූ අතර, ඇදැහිලි සමූහයක් පමණක් පැවතුණි. මෙම කිසිදු ඇදැහිලි ක්‍රමයක් මිනිස් ජීවිතයේ හරය මෙන්ම මිනිස් ජීවිතය අර්ථවත් ලෙස ගත කල යුතු පිලිවෙල ලක්වැසියන්ට අවබෝධ කරවීමට තරම් ප්‍රබල මට්ටමක නොවීය. විශාල වෘක්ශයන්, පර්වත, මළවුන්, යක්ශයන් ඇදහීම වැනි අරුත්සුන් ඇදැහිලි ක්‍රම මගින් එකල ආගමික සම්ප්‍රදායන් පිරී තිබුණි. පාලන තන්ත්‍රයේ සිටි රජවරුන්ද, සෑම ආගමික විශ්වාසයකට ම එක හා සමානව අනුග්‍රහය දක්වන්නට විය. නමුත් මහින්දාගමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහය යටතේ බුදු දහම ලක්දිව ව්‍යාප්ත වන්නට විය. බුදු දහම රාජ්‍ය ආගම බවට පත් විය. බුදු දහම රාජ්‍ය ආගම බවට පත් වීම සමග දේශීය සංස්කෘතියේ නව යුගයක් උදා විය.රජතුමා හා ප්‍රභූ පිරිස තෙරුවන් සරණ යෑම සමඟ, මහජනතාව ද ඒ මග අනුගමනය කලහ. එලෙස බුදු දහම ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ඒ සමගම වෘක්ශයන් , පර්වත වන්දනා කරමින් සිටි මිනිසුන් වෙහෙර විහාර ඉදිකොට ත්‍රිවිධ රත්නයේ ගුණ සිහි කරමින් ධර්ම මාර්ගය අනුගමනය කිරීම ආරම්භ කලේය. යක්ශයන්, මළවුන් හට බිලිපූජා දෙමින් සිටි මිනිසුන්, සිල්වතුන්ට දානමාන ලබා දී එම පින් මළගිය පුද්ගලයන්ට අනුමෝදම් කිරීමට පුරුදු පුහුණු විය. පස්පවින් වැළකී, පන්සිල් සුරකින සමාජයක් නිර්මාණය විය. ප්‍රාග් ඇදැහැලි ක්‍රම වලට වඩා බුදු දහම මිනිස් ජීවිතයේ සෑම පැතිකඩක්ම විනිවිද දැකිය හැකි ආකාරයේ හරවත් ඉගැන්වීම් වලින් යුක්ත වූවක් නිසාත්, දාර්ශනික පදනම නිසාත්, ජනතාව අතර එය ප්‍රචලිත විය.
    එකල සංස්කෘතික පසුබිම එතරම් ප්‍රබල මට්ටමක නොවීය. සමාජයේ මිනිසුන් ජීවත් වීමේදී, මිනිසුන් සමඟ සිරිත්විරිත් ගොඩනගා ගත යුතු ආකාරය, මිනිසා පමණක් නොව සතුන් මෙන්ම ගහකොල ආදී ස්භාවධර්මය කෙරෙහි ද සමාජ ධර්මතා හැඩගස්වා ගත යුතු ආකාරය පිළිබඳවද පැහැදිලි අවබෝධයක් මිනිසුන් සතුව නොතිබුණි. සමාජ යුතුකම් හා වගකීම් පිළිබඳවද එතරම් අවබෝධයක් නොවීය. ඉපදුන දින සිට මියයන තෙක් එදිනෙදා දිවි ගෙන යාමට ඔවුන් කටයුතු කලේය. කලාව, නිර්මාණ, භාශාව , කුසල් අකුසල් පිලිබද පවා විශාල දැනුමක් ඔවුන් සතුව නොතිබිණි. මහින්දාගමනයත් සමඟ, වියත් භාශාවක්, කලාවක් ලක්දිවට ලැබුණි. ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම සිංහල භාශාව ආර්යයන්ගේ හා දේශීය භාශාවේ සම්මිශ්‍රණයෙන් දිගු කලක් තිස්සේ සංවර්ධනය වෙමින් පැවතුණි. බුදු දහම හදුන්වා දීමත් සමග පාලි භාශාවේ බලපෑමත් සමඟින් සිංහල භාශාව තවදුරටත් සංවර්ධනය වීම සමග හෙළ බසින් ලිවීමට පදනම වැටුණි. බුදු සිරිත පදනම් කරගෙන ගැඹුරු අරුත් ඇති ග්‍රන්ථ පවා හෙල බසින් ලියවුණි. දේශීය සාහිත්‍ය නිර්මාණ මිනිසාගේ දෙලොවටම වැඩ පිණිස උසස් රසවින්දනයක් ලැබීමට හැකි පරිදි නිර්මාණය විය.
                                         
    ගොවිතැන හා දඩයම ප්‍රධාන ලෙසම එකල ජීවනෝපායන් විය. නමුත් මහින්දාගමනයත් සමග විවිධ ශිල්ප කුලයන්ට අයත් පිරිස් ලක්දිවට පැමිණියහ. ඒත් සමඟම මිනිසුන් විවිධ වූ කර්මාන්තයන්ට යොමු විය. ලක්දිව ආර්ථීක ක්ෂේත්‍රයේ විශාල වෙනසක් මේ හා ඇති විය. විවිධ කර්මාන්තයන් දියුණු වීමත් සමඟම විශාල වෙහෙර විහාර, දාගැබ් බුදු දහම මූලික කරගෙන නිර්මාණය වන්නට විය. වැව් ඉදිවීමත් සමග වාරි කර්මාන්තයද ඇසුරින් කෘෂිකර්මාන්තය තවදුරටත් වැඩි දියුණු විය.වෙහෙර විහාර, මහා දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “ වැවයි , දාගැබයි - ගමයි, පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන්  සිටය. ආර්ථීක වශයෙන් ස්වයංපෝශිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසුන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුල ඇති කල සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජයක් බිහි කිරීමට සමත් විය.
    මිහිදු හිමි ලක්දිවට වැඩම කරන සමයේ රජතුමා මූලික පාලන තන්ත්‍රයක් පැවතුණි. මහින්දාගමයෙන් පසුව දස රාජ ධර්ම , පංච ශීලය, දස කුසල් අනුගමනය කරන සධාරණ පාලන ක්‍රමයක් ඇති විය. එයින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුලුල් වී ගල් ලෙන් විහාර පරිශ්‍රයන් බවට පත් විය. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනයක් ඇති වුණි. මේ අනුව මිහිදු හිමි වැඩම කල අවධියට වඩා ඉන් පසු කාලීනව විශාල සමාජ, ආර්ථීක, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති වූ බව මනාව පසක් වන්නකි.


බිමාශා උපාලිරත්න
17 වසර කණ්ඩායම

ලුම්බිණි විජේසූරිය - 17 වසර කණ්ඩායම

No comments:

Post a Comment