මහින්දාගමනයට පෙර භාරතය හා ලංකාව අතර සම්බන්ධතා

  බෞද්ධ ඉතිහාසය සලකා බැලීමේදී ලෝ වැසි සියලු බෞද්ධ ජනයාගේ පිනට පහල වූ ශ්‍රේෂ්ඨ නිරිදෙකු ලෙස ධර්මාශෝක රජතුමා සැලකිය හැක. එතුමා සිදුකල මාහැගි ශාසනික මෙහෙවර දෙස බැලීමේ දී තුන්වන ධර්ම සංගායනාවට දායකත්වය දැක්වීමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 256 ගෙවුනු තැන පැළලොප් නුවර අශෝකාරාමයේදී තුන්වන ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණි. එහි ප්‍රතිඵලයක් ලෙස භාරතය පුරා බුද්ධ ශාසනයේ නැවුම් ප්‍රබෝධයක් ඇතිවුණි. එයින් නොනැවතුනු ධර්මාශෝක රජතුමා උතුම් වූ බුද්ධ දර්ශනයේ චිරස්ථිති පැවැත්ම උදෙසාත්, සකල ලෝ වැසි ජනයාගේ යහපත උදෙසාත් භාරත දේශයෙන් පිටතට ධර්ම දූත සේවාව ව්‍යාප්ත කරලීමට අඩිතාලම තැබුවේය.
       උතුම් වූ පොසොන් පුන් පොහෝ දිනක මිහිදු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූතයන් වහන්සේලාගේ සම්ප්‍රාප්තියෙන් බුදු දහමේ ආශිර්වාදය ලක්වැසියන්ට දායාද විය. මෙසේ බුදුදහම හෙළදිව වෙත දායක වූයේ අසුරු සැනකින් නොව, කාලාන්තරයක් තිස්සේ දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික යහපැවෙත්මේ හා මිත්‍රත්වයේ මහාර්ඝ වූ අග්‍රඵලය වශයෙමන් බව පිළිගතයුතු කාරණයකි.
      ශ්‍රී ලංකා ඉතිහාසය හැදෑරීමේදී මහින්දාගමනයට පෙර කාල සීමාව හැදින්වෙන්නේ ප්‍රාග් මහින්ද යුගය ලෙසිනි. එම ප්‍රාග් මහින්ද යුගයේ තිබූ සබදතා රාජත්‍රාන්තික හා දේශපාලන,ආගමික හා සංස්තික, වෙළද සබදතා ලෙස පැතිකඩ කීපයක් ඔස්සේ විග්‍රහ කල හැක.ධර්මාශෝක රජතුමා හා මුටසීව රජු අතර පැවති මිත්‍රත්වය, මුටසීව රජුගේ පුත්‍රයාණන් වූ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය තුලදී කූඨප්‍රාප්තියට ලගා වූ බව කීම සාවද්‍ය නොවේ. ඒ උතුම් වූ බුදු දහම සම්ප්‍රාප්ත වීම කරණ කොටගෙනය. එසේ නමුදු භාරත දේශය හා ලංකාව අතර තිබූ සබදතා බුද්ධ කාලය දක්වාම අතීතයට දිවයයි. තථාගතයන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කිරීම හා සොළොස්මස්තථාන බුද්ධ පාදස්පර්ශයට ලක්වීමෙන් විද්‍යාමාන වන්නේ ප්‍රාග් මහින්ද යුගයේ දෙරට අතර තිබූ සබදතාවයි. තවද, බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන පරිදි ගෞතම බුදු සසුනේ පළමු ද්වේවාචික උපාසකයන් වූ තපස්සු භල්ලුක වෙළදුන් බුදු රජුන්ගේ කේශධාතු ලක්දිවට වැඩමවා ඒවා නිධන් කර තිරියාය හිරිහඩු සෑය සෑදීම තුලින් ගම්‍ය වන්නේ දෙරට අතර අතීතයේ සිට පැවති වෙළද සබදතා නොවේද?
    විජයාගමනය දෙරට අතර රාජ්‍යත්‍රාන්තික සබදතා වලට මූලාරම්භය වූ අතර විජය කුමරුගේ ආගමනයෙන් පසුවද විවිධ ආර්ය කණ්ඩායම් මෙරටට පැමිණ ඇති බවට ඉතිහාසගත වාර්ථා සාක්ෂී දරයි. විජය රජුගේ ආරාධනයෙන් ලංකාවට පැමිණි මථුරාපුර විජායි කුමරිය හා රාජවංශික පිරිස්, පඩුවස්දෙව් රජ දවස මෙරටට පැමිණි භද්දකච්චායනා කුමරිය හා ඇයගේ සහෝදරයන් ඇතුළු පිරිස ඒ සදහා නිදසුන් ලෙස ගෙනහැර පෑ හැක. භද්දකච්චායනා කුමරිය ශාක්‍ය වංශික කුමාරිකාවක් වූ අතර, ඒ හේතු කොටගෙන භද්දකච්චායනා කුමරිය හා ඒ සමග පැමිණි පිරිසෙන් බහුතරයක් බෞද්ධයන් යැයි යමෙක් සිතීම වරදක් නොවේ. භද්දකච්චායනා කුමරියගේ සහෝදරයන්ගේ මූලිකත්වයෙන් උපතිස්සගාම, අනුරාධගාම, විජිතගාම වැනි ජනාවාස පිහිටුවීම භාරතීය සංස්කෘතිය, ඇදහිලි හා විශ්වාස මෙරට පුළුල් ලෙස ව්‍යාප්ත වීමට මූලබීජය විය.
   පණ්ඩුකාභය රජ සමයේ බ්‍රාහ්මණ, ජෛන, ශිව යන භාරතීය සමකාලීන ආගම් මෙරට මුල් බැසගෙන තිබූ බවට ඓතිහාසික සාධක පවතී (හින්දු ආගමික ශිව හා විෂ්ණු වන්දනාව). පණ්ඩුකාභය රජු බ්‍රාහ්මණයන්ගෙන් පෙර කී ආගම් පිළිබද ගුරුහරුකම් ලැබීම හා පසුකාලීනව එම ආගම් වෙනුවෙන් සිවික ශාලා හා සොත්ථි ශාලා පිහිටුවාලීමෙන් මගින් පෙනී යන්නේ මහින්දාගමනයට පෙර සිටම භාරතයේ පැවති ආගම් වල ආභාශය මෙරටට ලැබුණ බව හා ඒ සදහා රාජ්‍ය අනුග්‍රහයද නොඅඩුව ලැබුණු බවයි.
   කාලයාගේ ඇවෑමෙන් ශක්තිමත් වූ දෙරට අතර සබදතා ලක්දිව දෙවන පෑතිස් රජ සමයෙහි වඩාත් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබුණී. මහින්දාගමනයට පෙර සිටම ධර්මාශෝක රජුගේ දූතයන් ලංකාවට පැමිණි බව මහාවංශය වැනි ඓතිහාසික මූලාශ්‍රවල අන්තර්ගත වීමෙන් ඒ බව ගම්‍ය වේ. ලක්දිවට මිහිදු හිමියන්ගේ වැඩමවීම හරහා බුදු සසුනේ ආශිර්වාදය ලැබීම දෙරට අතර පැවති මිත්‍රත්වයේ කූඨප්‍රාප්තිය ලෙස සැලකිය හැක.  එතෙක් දෙරට අතර පැවති සබදතා කරණකොට ගෙන සියලු ලක්වැසි ජනයාගේ පිනට දායාද වූ ශ්‍රී ගෞතම තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් මේ ලක්දිව වැජඹේවායි බෞද්ධයන් වශයෙන් අපි ප්‍රාර්ථනා කළයුතු වෙමු!!!


පුබුදු මදුෂාන්
17 වසර කණ්ඩායම

No comments:

Post a Comment