ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සම්බන්ධ ඓතිහාසික පසුබිම

    මහින්දාගමනයත් සමඟ ලක්දිව ධර්මද්වීපයක් බවට පත්ව සද්ධර්මයෙන් ඒකාලෝක විය. මිහිඳු මා හිමියන්ගෙන් ධර්මය ශ්‍රවණය කළ ලක්වැසියන් බෞද්ධයන් බවට පත්විය. බුදු සසුන කෙරෙහි පැහැදුන ඇතැම් පිරිස් සසුන්ගතව ධර්ම ප්‍රචාරණය ඉදිරියට ගෙන ගියහ. සදහම් අසා මග ඵලලාභීන් බවට පත්වූ අනුලා බිසව ඇතුළු පන්සියයක් කාන්තාවෝද පැවිදි වීමේ කැමැත්තෙන් පසු වූහ. නමුත් භික්ෂූන් කාන්තා පක්ෂය පැවිදි_ කරවීම බුදුරදුන් අනුදැන වදාරා නොමැති බැවින් ඒ සඳහා වරම් නොලැබීය. එහෙයින් මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම මත එවකට ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජු මෙරට භික්ෂුණී ශාසනය පිහිටු වීම සඳහා සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේද ඒ සමඟ ශ්‍රී මහාබෝධි ශඛාවක්ද වැඩම කරවන මෙන් ඉල්ලා අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිසක් දඹදිව ධර්මශෝක රජු වෙත පිටත්කර හරින ලදී. ලක්දිව බෞද්ධ සංස්කෘතියේ තවත් වැදගත් සංදිස්ථානයක් වූ දුමින්දාගමනය සඳහා හේතු සාධක එලෙස නිර්මාණය_ විය.
    බුදුදහම මෙරටට හඳුන්වා දෙන සමය වනවිට මෙරට ජනයා විවිධ ආගමික ඇදහිලි සඳහා පුරුදු වී සිටි බව පෙනේ. යක්ෂ, දේව විශ්වාස මත පදනම්ව සිදු කළ වෘක්ෂ වන්දනාව ඉන් එකකි. මිහිඳු හිමි ප්‍රමුඛ ධර්මදූත පිරිස ලක්වැසියන්ට බුදුදහම සමීප කිරීමටත් ඔවුන්ගේ වන්දනා ක්‍රම සඳහා_ අර්ථවත් බවක් ලබා දීමට අරමුණු කිරීමත් ශ්‍රී මහාබෝධීන් වහන්සේ මෙරටට වැඩමවීමට හේතු වන්නට ඇත. භාරතීය ජන සමාජය තුලද බෝධි වන්දනාව බුද්ධත්වයෙන් පසුව ප්‍රචලිත වුවද වෘක්ෂ වන්දනාව ඊටත් පෙර අතීතයක් දක්වාම විහිදී යයි. අප මහා බෝසතාණන් වහන්සේට උතුම් සම්බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන්_ ඇසටු වෘක්ෂය ඉන්පසු ශ්‍රී මහාබෝධීන් වහන්සේ ලෙස පූජනීයත්වයට පත්විය. බෝධීන් වහන්සේට කරන පූජාවන් බුදුන්වහන්සේට කරන පුද පූජාවන්ට සමාන බව බුදුරදුන් දේශනා කිරීමත් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවධිය තුලදීම සිදුකරන ලද ආනන්ද බෝධි රෝපණයත් සමඟ බෝධී වන්දනාව බෞද්ධ සංස්කෘතියට එකතු විය. ධර්මාශෝක රජ සමය වනවිට බෝධී වන්දනාව දඹදිව වඩාත් ප්‍රචලිතව විය. එබැවින් ධර්මාශෝක රජුද බෝධිය හා බැඳුනු සංස්කෘතිකාංග ලක්දිවට හඳුන්වා දීමට උනන්දු වූ බව පෙනේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවීම එහි ප්‍රතිඵලයකි.

    අරිට්ඨ කුමරුගේ ආගමනයත් සමඟ ධර්මාශෝක රජු මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීමට කටයුතු සම්පාදනය කළේය. ඒ අනුව පැළලුප් නුවර සිට බෝධීන් වහන්සේ වැඩ සිටින භූමිය තෙක් සත් යොදුනක් මාර්ගය සරසන ලදී. බෝධීන් වහන්සේ වඩා හිඳුවීම පිණිස රන් කටාරමක්ද පිළියෙල කරවීය. දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේලාද ජනයාද රැස්ව සිටියදී ධර්මාශෝක රජු බෝධීන් වහන්සේ වෙත ගමන් කළේය. සිදුවූයේ මහත් අසිරියකි. ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව තමන්ම මහාබෝධියෙන් වෙන්ව රන් කටාරමේ තැන්පත් විය. එකෙන්හි කටාරමත් සමඟ අහසට නැගි බෝධි ශාඛාව පුරා සතියක් අහසේ අදෘශ්‍යමානව වැඩහිඳ සත් දිනකට පසු සවණක් ඝන බුදුරැස් විහිදුවමින් නැවත දිස් විය. නොයෙකුත් ප්‍රාතිහාර්යන්ගෙන් ප්‍රීතියට පත් රජු ප්‍රමුඛ වැසියෝ බෝධීන් වහන්සේ උදෙසා අපමණ පුද පූජා පැවැත්වූහ. ධර්මාශෝක රජු තෙවරක්ම දඹදිව රාජ්‍ය බෝධීන් වහන්සේ උදෙසා පූජා කළේය.

    මෙලෙස දඹදිව තාම්‍රලිප්ත තොටින් නැව් නැගි දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ රැගත් සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ පිරිස උඳුවප් පුර පසළොස්වක පොහොදා ලක්දිව දඹකොළ පටුනට ළඟා විය. දෙවනපෑතිස් රජුද කරවටක් මහමුහුදේ බැස මහත් ගෞරවයෙන් බෝධීන් වහන්සේ පිළිගත්තේය. මහ පෙරහරින් වැඩම කරවූ ඒ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ තුන්ලෝකයෙහිම සාධුකාර මධ්‍යයේ මහපොළොව කම්පිත කරමින් අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටියේය. දෙවනපෑතිස් රජුද ලක්දිව තෙවතාවක් ම බෝධීන් වහන්සේ උදෙසා පූජා කළේය.
     ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කළ සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කළ සේක. ඒ සමඟ පැමිණි දහඅට කුලයක ශිල්පීන් මෙරට බෞද්ධ සංස්කෘතිය ගොඩනැගීමට මහෝපකාරී විය.


හේෂානි චතුමිණි
17 වසර කණ්ඩායම

No comments:

Post a Comment