මහින්දාගමනයෙන් පසුව ඇතිවූ සංස්කෘතික ප්‍රබෝධය

 “අහං බුද්ධං ච ධම්මං ච
සංඝං ච සරණං ගතො
උපාසකත්තං දේසේසිං
සක්‍යපුත්තස්ස සාසනේ”

“මම බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගොස් උපාසකයෙකු බවට පත් වූයෙමි.ඔබ ද සැදැහැ සිතින් එම උතුම් තෙරුවන් සරණ යන්න.”
          එකල දඹදිව රාජ්‍ය පාලකයා වූ ධර්මාශෝක රජතුමා හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා නොදුටු මිතුරෝ වූහ.වරෙක ධර්මාශෝක රජතුමාගෙන් ලැබුණු තුටු පඩුරු අතර ඉහත සදහන් අගනා දහම් පඩුරද විය.මෙම දැහැමි ඉල්ලීම දේවානම්පියතිස්ස රජුට ඉටු කරගැනීමට හැකි වූයේ අපගේ අති උතුම් ශාස්තෘන් වහන්සේ, ගෞතම බුදුන් වහන්සේගේ මහා පරිණිර්වානයෙන් වසර දෙසිය තිස් හයක් ගතවීමෙන් පසුව මිහිදු මහා රහතන් වහන්සේගේ ලංකාගමනය  සිදුවිමෙන් අනතුරුවය.ලංකා ඉතිහාසය තුල සිදුවූ අතිශය වැදගත්වූත් ශ්‍රේෂ්ඨවූත් එක් සිදුවීමක් වූ මෙම සිදුවීම මහින්දාගමනය ලෙස හැදින්විය. මහින්දාගමනයෙන් මෙරටට බුදුදහම හදුන්වාදීමෙන් පසුව  අතුරු ප්‍රතිඵලයක් ලෙස ධර්මාශෝක අධිරාජයාගේ දියණියන් වන සංඝමිත්තාවන් විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමද සිදුවිය.මේ සියල්ලත් සමග ලක්දිව තුල පෙර තිබුනාට වඩා විශාල වූ ප්‍රබෝධයක් සෑම අංශයකම දක්නට ලැබිණ.මෙහිදී ඇතිවූ සංස්කෘතික පුනරුදය එහිලා විශේෂයක් ගනී.මක්නිසාදයත් එම අවධිය වන විට ලක්දිව තුළ සුළු සංස්කෘතික පසුබිමක් හා වර්ධනයක් පමණක් පැවතීමයි.මෙහිදී කලා, උත්සව හා ශාස්ත්‍රිය යන අංශ ත්‍රිත්වයේම එකතුවක් ලෙස සංස්කෘතික පුනරුදය ඇතිවින.
          දේවානම්පියතිස්ස රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයත් සමග මිහිදු හිමියන් මෙම පුනරුදය ඇති කිරිමට ඉතා බුද්ධිමත් හා දැවැන්ත වැඩ පිළිවලක් දියත් කළහ.එකල දිවයින තුළ කලා ශිල්ප හෝ ගෘහ නිර්මාණ ශිල්ප වල හෝ දියුණුවක් නොතිබිණ.නමුත් ශ්‍රි මහා බෝධී ශාඛාව වැඩම වීමත් සමග විවිධ කුල රැසකට අයත් විශාල පිරිසක් ලක්දිවට පැමිනි බවත් ඒ අතර ශිල්පශ්‍රේණි දහ අටකට අයත් ශිල්පීන් සිටිබවත් සිංහල බෝධ් වංශය වැනි වංශකතා වල සදහන් වේ.එකල ඉන්දියාවේ වැඩිදියුණුව පැවති ගෘහ නිර්මාණ, කැටයම්, මූර්ති හා ච්ත්‍ර මෙන්ම වෙනත් කර්මාන්තයන්ද ඔවුන් විසින් මෙරටට හදුන්වා දුන් බවත් ඒවා සිංහල සම්ප්‍රධායට අනුව දියුණුවන්නට ඇති බවත් අනුමාන කලහැක.එහිදී බිහිවූ පරිපූර්ණ කලා කෘතියක් ලෙස උස් වේදිකාවක් මත රෝපිත ශ්‍රි මහා බෝධිය සදහා ඉදිවූ බෝධිඝරය හදුනාගත හැක.අද වන විට එහි ආකෘතිය වෙනස් වී ඇතත් පැරණි බෝධ්ඝරයට සමාන ආකෘති සොයාගෙන ඇත.එසේම මහා වනපෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහා සංඝරත්නයට වැඩම කොට ධර්මදේශනාවන්හි යෙදෙන්නට ධර්ම ප්‍රචාරයෙහි නියලෙන්නට මං සලසාලන ලදී.එම ක්‍රියාවලිය තව දුරටත් පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාම බවට පත් විය.ලක්දිව මහා විහාර බිහිවීම ඇරබිණි.මහස්ථූප නිර්මාණයත් සමගම ඒ ආශ්‍රිතව වටදාගෙවල්, වාහල්කඩ ආදී කලා නිර්මාණ බිහිවිය.බුදු දහමින් උකහා ගත් චාම් හරවත් දර්ශනීය ලක්ශණයන්යන් ගෘහ නිර්මාණ ශිල්පය සමග මනාව මුසුකොට ගනිමින් බෝධිගර, ආරාම, පිළිම ගෙවල් ආදී විවිධ ගොඩනැගිලි මෙන්ම නිර්මාණශීලී මූර්ති හා චිත්‍ර මගින් ඔපවත් වූ සදකඩපහන, මුරගල ආදී නිර්මාණ බිහිකරමින් ප්‍ර්රඪ සංස්කෘති‍යක් උරුම කර දුන්හ.වෘක්ෂ වන්දනය වෙනුවට බෝධි වන්දනයත් පර්වත වන්දනය වෙනුවට චෛත්‍ය වන්දනයත් හදුන්වා දුන්හ.වෙහෙර විහාර, මහාදාගැබ් ඉදිවෙමින් සාමන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැදියවක් ඇතිවිය.කළු ගලකින් ජීවමය බුදුරුවක් නිර්මාණය කරන්නට තරම් මිනිසා අධ්‍යාත්මික සංවර්ධනයක් ළගාකර ගත්හ.සමාධි පිළිමය, අවුකන පිළිමය මගින්  බුදු දහමෙන් මිනිස් සිතේ ඇතිකල තැම්පත් බව, ඉවසීම මෙන්ම අධ්‍යාත්මික දියුණුව මනාවට කියාපායි.
          එකල පැවැත්වූ උත්සව පිළිබද සැලකීමේදී මුල්තැනක් ගන්නේ බෝධීන් වහන්සේ මුල් කොටගෙන පැවැත්වූ විවිධ උත්සවයි.නියං සමයේදී වැසි ඵල ලබාගැනිමේ බලාපොරොත්තුවෙන් බෝධි ස්නාන උත්සව පවත්වා ඇත.එය භාතිකාභය රජු දවස ඇරඹුණු උත්සවයක් ලෙස සැලකේ.එමෙන්ම දහවැනි සියවසට අයත් සිවුවැනි මිහිදුගේ මිහින්තලා සෙල්ලිපියෙහි සොම්නස් මහා බෝ මගුල නම් උත්සවයක් ගැන සදහන් වෙයි.මෙය අද දක්වාම අඛණ්ඩව පැවතෙන උත්සවයක් ලෙස සැලකේ.
          මෙරට ඇතිවූ ශාස්ත්‍රීය ප්‍රබෝධය ගැන සැලකීමේදී බුදු දහම හදුන්වාදීමෙන් පසුව පාලි භාෂාවේ බලපෑමත් සමගින් සිංහල භාෂාව තවදුරටත් සංවර්ධනය වීමේ ප්‍රතිඵලය මත බුදුදහම හෙළ බසින් ගැඹුරු අරුත් ඇතිව රචනා වීමට පදනම වැටුණි. මහාවංශය ඇතුළු පොත පත ලිවිම ආරම්භ වෙමින් පොදුජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.එමෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුබිම් කොටගෙන සිංහල සාහිත්‍යට ග්‍රන්ථ රැසක් එකතු වී ඇත.එය බෝධ් සාහිත්‍ය ලෙසද නම් කල හැක.ශ්‍රී මහා බෝධී ශාඛාව වැඩම වූ මුල් කාලයේ ලියන ලදැයි සැලකෙන සිංහල බෝධිවංශ කීපයක්ම දක්නට ඇත.ගුරුළු ගෝමීන් විසින් රචිත ධර්ම ප්‍රදීපිකාවද බෝධි වංශයට අයත් කෘතියකි.එමෙන්ම චුල්ලබෝධ්වංශය හා වැලිවිට සංඝරාජ හිමි විසින් රචිත මදුරාර්ථ ප්‍රකාශනි නම් ග්‍රන්ථයද සිංහල සාහිත්‍යට අයත් කෘතියන්‍ වේ. මේ ආකාරයට අහස සිඹින මහා දාගැබ්, බුදුගුණ ජීවමානව සටහන් වූ මහාබුදුපිළිම, දම්පද රැගත් පතපොත ආදී සියලු දෑ මහින්දාගනයත් සමග අපට දායද වූ සංස්කෘතික පුනරුදය මනාවට පිළිබිඹුවේ.



දිල්කි චාරුකා කුලතුංග.
17 වසර කණ්ඩායම

No comments:

Post a Comment