බුදු දහම හා ආර්ථික දර්ශනය

    පින් කරන්නත් සල්ලි තියෙන්න ඔනෙයැයි කියනව මට ඇසී තිබේ. එය මුළුමනින්ම සත්‍ය නොනොවුනත් එහිදු සත්‍ය ඇතෙයි මට හැගේ. තමන්ට ඇති තරම් ආහාර නොමැති කළ දානයක් දීමට පෙළබෙන්නේ ඉතාමත් අතලොස්සකි. භාග්‍යවතුන් වහන්සේ අත්ථි සුඛය, භෝග සුඛ්‍ය, අනණ සුඛය, අනවජ්ජ සුඛය යැයි ගිහියෙකුට ලැබිය හැකි සැප සතරක් පිළිබදව දේශනා කොට ඇත. අත්ථි සූඛය නම් ධනය තිබීම නිසා ඇතිවන සතුටයි , භෝග සුඛය යනු ධනය පරිභෝජනය නිසා ඇති සතුටයි, අණන සුඛය යනු ණය නැති බව නිසා ඇතිවන සතුටයි. අනවජ්ජ සුඛය යනු නිවැරදි අයුරින් ධනය ඉපයීම ඇති වන සතුටයි. මෙයින් පැහැදිළි වෙන්නේ සම්බූදු දහම ධනය ඉපයීම හෝ සම්පත් පරිභෝජනය කිසිවිටෙක ප්‍රතික්ශේප නොකළ බවයි. එසේම මෙලොව යහපත එනම් නිතියෙන් සමාජයෙන් වරදකරුවන් නොවි සතුටින් විසිමටත් පරලොව සැප ලැබෙන ලෙසත් ධනය ඉපයීම, පරිභෝජනය, ආයෝජනය හා ආරක්ෂණය කරන්නේ කෙසේදැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත.

පණ්ඩිතො සීලසම්පන්නෝ ජලමග්ගී ව භාසති
භොගෙ සංහරමානස්ස භමරස්සේ ව ඉරුයතො
හොගා සන්නිචයං යන්ති වම්මිකො වුපචීයති
(දීඝ නිකාය. සිගාල සු.)

    “පණ්ඩිත වු සිල්වත් වු තැනැත්තේ කදු මුදුනක ඇවිලෙන ගින්නක් සේ ජනයා අතර බබලයි. මල් නොතලා රොන් ගෙන මී බිදින්නා වු බඹරා මෙන් අනුන් නොපෙළා දැහැමින් සෙමෙන් වීර්‍යය කරන්නා වු තැනැත්තා හට තුඹසක් බැදෙන්නාක් මෙන් ධනය රැස් වන්නේ ය.” යැයි මෙහි අදහසයි. පුද්ගලයෙකු විසින් කෙසේ ධනය උපයා ගත යුතු දැයි මෙම ගාථාවෙන් මනාවට විස්තර කෙරේ. අප ධනය උපයා ගත යුතුය, එනමුත් එය කිසිවිටෙකත් අනිකෙකුට කරදරයක් හිංසාවක් නොවන අයුරිනි. මෙසේ ධනය උපයා ගැනීම සදහා නොකළ යුතු ආදායම් මග පහක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට තිබේ. ඒවා නම් මස්, විස, ආයුධ, මත්පැන් සහ සත්ත්ව වෙළදාම් යන එවායි. එසේම වෙළදාමෙදි කිරුම් මිනුම් ආදියෙන් වංචා නොකළ යුතු බව ද සදහන් වේ. තමා උපයන ධනය උත්සහයෙන්, වීර්යයෙන්, දෑතේ ශක්තියෙන්, දහදිය වගුරුවා ධාර්මිකව ධනය උපයා ගත යුතු යැයි ධර්මයේ සදහන් වෙයි. එනම් තම ස්වොත්සහයෙන් තම හැකියාව කුසලතාවය මෙහෙයවා තම ආර්ථික ඉල්ලක්ක සපුරා ගත යුතුය යන අදහස මෙයින් අවධාරණය කරයි. අද මුළු ලෝකයම සතුන් ද පරිසරය ද ඇතුළු ව සිල්ලම පීඩාවට, අසහනයට, සූරාකැමට, හිමිකම් උල්ලංගනයට ලක් වන්නේද මෙසේ අධාර්මික ලෙස තම ආර්ථික ඉලක්ක සපුරා ගැනිමට පෙළඹීම හේතුකොටගෙන ය. සමස්ථයක් ලෙස ධනය ඉපයීම “ ධම්මිකෙන ධම්මලද්ධෙන ” හෙවත් ධාර්මිකව ධර්මයෙන් උපයාගත් යන නිර්නායකයට යටත් විය යුතුය. මෙයින් සිතෙහි ඇතිවන ප්‍රසන්න ස්වභාවය අනවජ්ජ සුඛය නම් වේ. වත්මනෙහි විශාල ධනස්ඛන්ධයන් උපයා ගත් නමුත් අවසානෙයේ චිත්ත පීඩා මානසික අසහනයන් ට ගොදුරු වන්නේ මෙම චිත්ත ප්‍රීතිය නොමැති නිසාය.

එවං භොගෙ සමාහත්වා අලමත්තෝ කුලෙ ගිහි
චතුධා විභජෙ භොගෙ ස වෙ මිත්තානි ගන්ථති

එකෙන භොගෙ භු....ජෙය්‍ය ද්වීභි කම්මං පයොජයෙ
චතුත්ථං ච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති
(දීඝ නිකාය. සිගාල සු.)

    “ධන සැපයීමට සමත් වු තැනැත්තා විසින් මෙසේ ධනය සපයා ඒවා සතරට බෙදිය යුතු ය. ඉන් එක් කොටසකින් තමා ප්‍රයොජනය ගත යුතුය. දෙකොටසක් කර්මාන්ත යෙදිය යුතු ය. විපතකදි ගැනීමට එක් කොටසක් ඉතිරි කර යුතු ය. එසේ කරන්නා වු තැනැත්තා හට අන්‍යයන් හා මිත්‍රත්වය පවත්වා ගත හැකි වන්නේ ය”  යැයි මෙම ගාථාවේ අදහසයි. මෙය කොතරම් කාලෝචිත ධනය හැසිරවිමේ ක්‍රමෝපයක් නොවේද? තමා උපයන ධනය අරපිරිමෙස්මෙන් යුතුව විදයම් කිරිමටත් තම ආර්ථික ශක්‍යතාවයට අනුරූප ව තමාගෙ අවශ්‍යතා හැඩගස්සවා ගැනීමටත් මෙම ක්‍රමය උපකාරි වේ. එමෙන්ම මෙම නිර්ණායකයන් තුළ ආයෝජන සදහා වැඩි අවධානයක් යොමු කර ඇත. ව්‍යාපාරයෙකදි තමන්ගෙ ලාභයෙන් වැඩි කොටසක් ආයෝජනය කිරීමෙන් එම  ව්‍යාපාරය දිවුණු කර ගැනීමට මෙන්ම තිරසාරව පවතා ගැනීමද කළ හැක. එසේම මෙහි අවධාරණය කරනු ලබන තවත් වැදගත් කරුණක් නම් අනුන් හා මිත්‍රත්වය පවත්වා ගත හැකි යන්නයි. ආර්ථික ප්‍රශ්න නිසා සමාජ සම්බන්ධතා දුරස්වීම් අඩදබර බොහෝ සිදු වේ. තමන්ට තමන්ගෙ ආර්ථිකය කළමණාකරණය කර ගැනීමට නොහැකි වු විට ණය ගැනිමට සිදු වේ. මෙම ණය නිසි පරිදි ගෙවාගත නොහැකි වු විට ඇතෙමෙක් සිය දිවි නසා ගැනීමට පවා පැළඹේ. ආර්ථිකය මනාව කළමණාකරණය කර ගැනීමින් ණය නොවී ජීවත් විමෙන් සමාජයේ ගෞරවාන්විතව මෙන්ම ආරක්ෂිතව සතුටින් ජිවත් විය හැක. මෙසේ ලබන සතුට අණන සුඛය ලෙසින් දේශනා කොට තිබේ.

    ආර්ථික කටයුතු කිරීමෙදි සෙව්‍ය සේවක සබදතා ඉතාමත් වැදගත් වේ. රටක ආර්ථිකයට මෙය දැඩි බලපෑමක් එල්ල කරයි. අද අපට දක්නට ලැබෙන කම්කරු ගැටළු ආදිය ද අරගල ද ඇති වි ඇත්තේ මෙම දෙකොටස අතර පවත්වනා අන්‍යොන්‍ය යුතුකම් සහ වගකීම් නිසි ආකාරයෙන් ඉටු නොවීම හේතුකොට ගෙනය. සිගාලෝවාද සුත්‍රයේ සේවකයාගෙන් ස්වාමියාට ත් ස්වාමියාගෙන් සේවකයාටත් ඉටු විය යුතු යුතුකම් මැනවින් විග්‍රහ කොට ඇත. මේ අවුරුදු දෙදහස් පන්සියයකට පෙර භාග්‍යවතුන් වහසන්සේ කම්කරූ අයිතීන් සුරක්ෂිත කළ ආකාරය යි.

    එසේම මෙසේ උපයන ලද ධනය භාවිතා කර විවිධ සමාජ කණ්ඩායම් උදෙසා තමන්ගෙන් ඉටු විය කාර්යයන් සිදු කරන ආකාරය පත්තකම්ම සූත්‍රයේ දේශනා කොට තිබේ. එ පමණක් නොව තමා උපයන ධනය විනාශ විය හැකි අයුරුත් එවා ආරක්ෂා කර ගන්නා ක්‍රමෝපායනුත් දේශනා කොට ඇත. සිගාලෝවාද සුත්‍රයේ “අපාය භෝග මුඛ” යනුවෙන් තම ධනය විනාශ විය හැකි ක්‍රම හයක් දක්වා ඇත. ඒවා නම් මත් පැන් පානය, නොකල්හි විදි සංචාරය, සන්දර්ශන බැලීමට ලොල්වීම, සුදුවට ලොල්වීම, පාප මිත්‍රයන් ඇසුර සහ අලස බව යි. ව්‍යග්ඝපජ්ජ සුත්‍රයේ දි මෙලොව යහපත පිණිස පවත්නා දහම් (කරුණු) සතරක් දේශනා කොට තිබේ. ඒවානම් උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජිවිකතා යන සතරයි. උට්ඨාන සම්පදා යනු ධාර්මිකව උත්සහයෙන් අලස කමින් තොරව තම වෘත්තියේ යෙදීමයි. ආරක්ඛ සම්පදා යනුවෙන් ධනය ආරක්ෂා කර ගැනීම දක්වා ඇත. කල්‍යාණ මිත්තතා යනු යහපත් මිතුරන් ඇති බවයි. සමජිවිකතා යනු අය අනුව වැය කරමින් මධ්‍යස්ථ ජිවිතයක් කිරිමයි. ධනය ආරක්ෂා කර ගැනිම කල්‍යාණ මිත්තතා සහ සමජිවිකතා යන කාරණා දෙක ඉවහල් වේ. ව්‍යාපාරයකදි වුවද විස්වාවන්ත, නුවණැති ව්‍යාපාර සහකරුවන් සිටීම ව්‍යාපාර දියුණුවට හේතු වේ. මෙ අයුරින් ත්‍රිපිටකයේ තවත් තැන්හී ආර්ථිකය පිළිබද දේශනා දක්නට ලැබේ.

ඉහත සදහන් කරුණු සළකන කළ ලොව ප්‍රථම ආර්ථික විෂ්ලේශකයා   තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව සදහන් කිරීම යුක්ති සහගතය.



සාහිත කරපිටිය
16 වසර කණ්ඩායම

No comments:

Post a Comment