අග්‍ර ශාවක තනතුරු පිරිනැමීම හා සම්බන්ද කතා වස්තු හා උන්වහන්සේලාගෙන් ගත හැකි ආදර්ශ

    පන්සලේ බුදු කුටිය වෙත පිය නගන්නවු අපට බුදුන් වහන්සේ දෙපසින් වැඩ සිටින අග්‍රශ්‍රාවක දෙනම වෙත නෙත් ගමන් කරන්නේ  නිතැතින්මය. එක් නමක් නීල වර්ණයෙන්ද අනෙක් නම සාමාන්‍ය වර්ණයෙන්ද පැහැ ගන්නවා ඇති අයුරු කුඩා කල සිට අපගේ මනස තුල කුකුසක් ඇති කිරීමට සමත් විය. කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා ලබාගත්තා වූ මේ තනතුර තුල බොහෝ පුරාවෘතයන් ගැබ් වී ඇති ආකාරය පුරාණ ග්‍රන්ථ පරිශීලනය කිරීමේදී පෙනී යයි. ගෞතම බුදුරදුන් හමුවේ මේ මහා භාග්‍ය අත් කරගත්තේ සැරියුත් මුගලන් දෙනම විසිනි. ගිහි කල උපතිස්ස කෝලිත නම් ගත්තාහූය.
    අස්සජි හිමිගේ බණ පද පේලි දෙකකින් සෝවාන් ඵල ලබාගත් උපතිස්සයන් තම මිතුරු කෝලිතයන්ද කැටුව බුදු රදුන් වෙත ගොස් උපසම්පදාව ලබාගන්නා ලදී. මේ දෙදෙනාගේ පැමිණීම දුර තියා දුටු බුදු රජාණන් වහන්සේ මේ සසුනේ පැවිදි වී අග්‍රශ්‍රාවක වන බව වදාල සේක. ඉන් සති දෙකක් ගත වූ කල් හී දීඝනාඛ පරිබ්‍රාජකයාට දේශනා කරන ලද දේශනාව හමුවේ සියළු කෙලෙස් නසා රහත් බව අත් කරගන්නා ලදී. මෙදිනම හවස් යාමයේ බුදු රදුන් විසින් සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරහි පිහිටවූ සේක. මෙයට විරුද්ධ වූ පස්වග තවුසන් හා කාශ්‍යප තෙරුන් අතර කසුකුසුවක් ඇති වූවද පෙර කළ පෙරුම්පිරූම් හමුවේ බුදු රදුන් ඒ කසුකුසුව මඩින ලද සේක.
    අගසව් තනතුර ආශ්‍රිතයෙන් ගිහි ජීවිතය සාරවත් කර ගැනීමට ගත හැකි ආදර්ශ බොහෝ ඇත. ඒ අතුරින් සැරියුත් මහරහතන් වහන්සේ ගේ ඉවසීමේ ගුණය ප්‍රමුඛ වේ. බුදු රදුන් බොහෝ අවස්ථාවන් හී මේ ගුණය පැසසුමට ලක් කළ සේක. එසමයෙහි බණ ශ්‍රවණය කිරීමට පැමිණෙන පුද්ගලයන් අතර අඩ-දබර ඇති කීරීමට ඇල්මක් දක්වන අයවළුන්ද නිතර දැකීමට පිලිවන් වූ කරුණක්. මේ පුද්ගලයන්හට සැරියුත් තෙරුන්ගේ මේ ඉවසීමේ ගුණය මහත් හිසරදයක් වී තිබූ අවස්ථාද විය. දිනක් එක් බමුණකු සැරියුත් තෙරුන්ට ඉවසීමක් නැති බව ඔප්පු කිරීමට සිතා එතුමානන් පිඩුසිඟා වඩින අවස්ථාවකදී පිටට වැරෙන් පහරක් එල්ල කරන ලදී. නමුත් කෝප නොගෙන ඉවසා සාරිපුත්තයන් නැවතත් පිඩුසිඟා වඩින්නට විය. මෙයින් එතුමාගේ ඉවසීමේ ගුණය මොනවට පැහැදිලි කරයි.
    ගුරුන් වන්දනාමාන කිරීමේ ගුණය ද අග්‍රශ්‍රාවකයක් ඇසුරෙන් ගත හැකි උතුම් ආදර්ශයකි. සැරියුත් තෙරුන් දිනපතා අස්සජි හිමියන් නැමදීම පුරුද්දක් කොටගෙන ඇති අයුරු බොහෝ පොතපතේ සඳහන් කරුණකි. සැරියුත් උතුමන්ට නිවැරදි බුද්ධ දර්ශනය පිලිබඳ ඇල්මක් ඇති කිරීම හේතු කොටගෙන නිතර වන්දනාමානයෙන් අස්සජි හිමියන්ට ගෞරව කරන ලදී.
    දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ මළුව අමදිමින් සිටි අවස්ථාවක දී සිවුරේ කොටසක් මළුවේ ඇදෙමින් ඇති අයුරු සාමනේර නමක් විසින් පෙන්වා දෙන ලදී. එවිට සැරියුත් උතුමන් සිවුර සකසාගෙන සාමනේර නමට නොමද පැසසුම් එක් කළහ. මෙයින් උන් වහන්සේගේ නිහතමානී  බව මනාව පිලිබිඹු වේ.
    මෝහයේ අඳුරෙන් කෙමෙන් කෙමෙන් වැසෙන වර්තමාන මිනිස් සමාජය ගුණ නුවණ නම් ආලෝකයෙන් ආලෝකමත් කිරීමට මේ ආදර්ශ ඉතාමත් වටිනා බව අග්‍රශ්‍රාවක දෙනමගේ දිවියෙන් මනාව පැහැදිලි වේ. ලැබුනා වූ මේ මිනිස් භවය සාර්ථක කර ගැනීමට මේ ආදර්ශයන් අපගේ දිවියට නොපමාව එකතු කරගත හැක.


චාමිනි දේවින්දිකා
15 වසර කණ්ඩායම

No comments:

Post a Comment