සුනීත සෝපාක වැනි අයට දැක්වූ සමානාත්මතාව

    ලොව්තුරා බුදු රජාණන් වහන්සේ යනු මේ ලෝකධාතුව තුළ පහළ වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වේ. උන්වහන්සේ සතු වූ මහා ගුණ සමුදාය මෙතැක් යැයි කියා නිම කළ නොහැක.බුදු රදුන් සතු වූ දයාව, කරුණාව, අනුකම්පාව, පරාර්ථ සේවාව, ඉවසීම ආදී මාහැ ගුණ සමුදාය අතුරින් සමානාත්මතාවද එවැනි එක් ගුණයකි.
    ගෞතම බුදුන් ලොව පහළ වන සමයේ සියලු සමාජ වරප්‍රසාද භුක්තිවින්දේ බමුණු සමාජයයි.කුල මත පදනම් වෙමින් රැකියාව තීරණය වූ එම යුගය අසරණ කුල හීන ජනයාට එල්ල කළේ දැඩි පීඩනයකි.එකළ රජගහනුවර සැඩොල් පවුලක උපත ලද සුනීත එවැනි පීඩීත වූවෙකි.කසළ ශෝධක රැකියාව උරුම කරගෙන මෙලෙස දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට මුල් වූ පාප කර්මය මෙසේය.මොහු බුද්ධ ශූන්‍ය කාලයක කුලගෙයක උපත ලද්දේය.දිනෙක මොහු යහළු මිත්‍රාදීන් හා ක්‍රීඩාවෙ යෙදන විට පිඩු සිඟා වැඩි පසේ බුදු කෙනෙකුන් දැක,

"මිනිසෙක් ගොවිතැනක් වෙළෙඳාමක් කොට ජීවත් විය යුතු නොවේද ? ඔබට ඒ කළ නොහැකි නම් නගරයේ මල මුත්‍රාදිය ඉවත් කරමින්, පිළිකණු සුද්ධ කරමින් හෝ ජීවත් වන්න

යැයි අපහාස කළේය .එම බලවත් අකුසලය ඔහුට මෙලෙස පල විපාක ලැබීමට හේතු විය.කුසට සරිලන අහරක් නොමැතිව දවස පුරාම වෙහෙස වෙමින් සුනීත ගතකළ මෙම දුක්ඛදායී ජීවිතය නුවණින් දුටු තථාගතයාණන් වහන්සේ දිනක් සුනීතට පිහිටවීම පිණිස රජගහ නුවරට පිඩු සිඟා වැඩි සේක.කසළ කඳ දරා සිටි සුනීත පෙරමග වඩින බුදුරදුන් දැක සැගවීමට තැනක් නොහැකිව කසළ කඳ බිම තබා මාර්ගයේ කොනකට වී වැඳ නමස්කාර කළේය.තථාගතයාණන් වහන්සේ කාරුණික බසින් සුනීත අමතා ඒ දුක්ඛිත ජීවිතයෙන් මිදී පැවිදි වීමට ඇති කැමැත්ත විමසා සිටියේය.සුනීත ඒ අසා මහත් ප්‍රීතියට පත්ව කැමැත්ත පළ කළේය.පසුව බුදුරදුන් ඔහුව විහාරයට ගෙන ගොස් පැවිදි කර ලොව උතුම්ම සැපත වූ නිවන්මගේ දොරටුව සුනීත භික්ෂුවට විවර කොට දෙනලදි.
    සුනීත පමණක් නොව සෝපාක ද එවැනිම අසරණ වූ කුඩා දරුවෙකි.ඔහු රහත් වීමට තරම් පිනැතිව උපත ලද්දෙකි.රජගහ නුවර පහත් කුලයක ඉපදුණු සෝපාක නම් මේ දරුවාගෙ පියා ඔහු ඉපිද කීප මසකින් කලුරිය කළේය .එතැන් පටන් සිය සුළු පියාගෙ අනේකවිධ දුක්කම්කටොළු වලට මුහුණ පෑමට ඔහුට සිදුවිය.එහි උච්චතම අවස්ථාව වූයේ දිනක් ඔහුගේ සුළු පියා ඔහුව අමු සොහොනකට ගෙන ගොස් මලමිනියක බැද දමා ඒමයි. දැඩි බියට හා කම්පනයට පත්ව හඬනා පුංචි සෝපාකව නුවණින් දුටු තථාගතයාණන් වහන්සේ විහාරයේ සිටම ආලෝක ධාරාවක් යවා ඔහුට දර්ශනය වී ,

“එහි සොපාක මා භායි - ඔලොකස්සු තථාගතං
අහං තං තාරයිස්සාමි- රාහුමුඛෙව චන්දිමං”
                               
                 යන ගාථාව වදාළ සේක. එය අසා පුංචි සෝපාක සෝවාන් ඵලයට පත් විය.පසුව ඔහුව කැඳවාගෙන ගොස් පැවිදි කර සාමණේර සෝපාකයන්ටද ධර්ම මාර්ගය විවර කොටදී මෙලොව දුකින් ඔහුව මුදවාගත්තේය.
                                 ඉතින් මේ අප ලොව්තුරා අමාමෑණී වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය ප්‍රකට වන සිදුවීම් දෙකක් පමණි. බුදුරදුන් වදාළ මග යමින්,එම ධර්ම කරුණු අවබෝධයෙන් තේරුම් ගනිමින් ධර්මය ඇසුරේම ජීවත් වීමයි අපටත් මේ භයානක සසරින් මිදීමට ඇති එකම මාර්ගය.


සමංගා රණසිංහ
16 වසර කණ්ඩායම

No comments:

Post a Comment