පංච මහා විලෝකනය

    "දුල්ලභෝ බුද්දුප්පාදෝ ලෝක්ස්මිං" බුදු උපතක් සිදුවන්නේ කල්ප ගණනකිනි. දීපංකර බුදුන් වහන්සේගේ සිට කාෂ්‍යප බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිහතර නමකගෙන් සූවිසි විවරණ ලැබූ අප මහා බෝසතාණෝ සාර අසංඛ්‍ය  කප් ලක්ෂයක් දස පාරමිතා පුරමින් තම අවසන් ආත්ම භාවය වෙස්සන්තර නම් රජ කෙනෙකුව  උපන්නාහ. රජකම අතහැර තවුස් දිවියක් ගත කරමින් තමන් සතු සියලුම වස්තුව දන් දෙමින් අවසන පැවිදි දිවියකට පත් එතුමාණෝ දාන පාරමිතාව පුරමින් මියපරලොව ගොස් තුසිත දෙව් ලොව සන්තුසිත නම් දිව්‍යරාජයා  ලෙස උපන්නාහ.
බුදු කෙනෙක් මෙලොව පහළ වන කාලය ආසන්න වන විට ලෝක සත්ත්වයා හා දෙව් බඹුන් මිනිසුන් අතර බුද්ධ කෝලාහලයක් ඇතිවෙයි. එනම් ලෝක වාසීන් අතර මතු බුදුවන්නේ කවරෙකුදැයි සැක උපදී. ඒ බව විමසා බලයි, අවසන එම උත්තමයා හට මනු ලොවට වැඩ ලෝක සත්වයා සසර දුකින් එතෙර කරන ලෙස ආරාධනා කිරීමක් සිදුවෙයි. මෙසේ මතු බුදු වන බෝසතාණෝ සන්තුසිත දිව්‍යරාජයා බවට දෙවිවරුන්ට පසක් වීමෙන් එතුමන්ට මතු බුදු වන ලෙස මෙසේ ආරාධනා කරන ලදී.

"කාලෝ යංතේ මහාවීර-උප්පජ්ජ මාතු කුච්‍චියං
 සදේවකං තරායන්ථා බුජඣස්ස අමතං පදං"

"මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේට බුදු වන්නට මේ කාලය වේ,මිනිස් ලොව මව් කුස පිළිසිද,නිවන් අවබෝධ කොට දෙව් මිනිසුන් සසර කතරින් එතෙර කරනු මැනවි."
දෙවිවරුන්ගේ ආරාධනාව මැනවින් පිළිගත් සන්තුසිත බෝසත් දිව්‍යරාජයා, කාරණා පහක් ඔස්සේ මේ බුදු වීමට නියමිත කාලයද යන වග විමසා බැලූහ. පංච මහා විලෝකන හෙවත් පස් මහා බැලුම් ලෙසින් හදුන්වනු ලබන්නේ එම කාරණා වේ.

"කාලං දීපංච දේසංච-කුලං මාතර මේව ච
ඒතේ පංච විලෝකෙත්වා-උප්පජ්ජන්ති තථාගතා"

මෙහිදී කාලය වශයෙන් වසර එකසිය විස්සක් වූ කාලය හදුනාගන්නා ලදී. මෙතෙක් පහළ වූ බුදුන්ගෙන් අවම ආයුෂ ලෙස මෙම ආයුෂ සැළකිය හැකිය. සාමාන්‍ය මනුෂ්‍ය ආයුෂ අවුරුදු සියයකට සාපෙක්ෂව අඩු වැඩි වශයෙන් පවතින බැවින් මෙම කෙටි අවුරුදු එකසිය විසි වස තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සසරෙහි යථා ස්වභාවය ක්ෂ්ණිකව වටහා ගැනීමට පහසු වන බැවින් මෙම කාලය නීර්ණය කරන ලදී.
දීපය වශයෙන් ජම්බුද්වීපය හෙවත් වර්තමාන දඹදිව  හදුනාගන්නා ලද්දේ එම දේශය තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට පහසු වන බැවිනි. එසේම සියලුම බුදුවරුන් ජම්බුද්වීපයේ උපදින බව අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියන්ගේ අටුවා ග්‍රන්ථ වලට අනුව පසක් වේ.
දේශය වශයෙන් කිඹුල්වත්නුවර හා කොසොල් දනව්ව මධ්‍ය ප්‍රදේශය හදුනාගන්නා ලද්දේ විශේෂයෙන් එම ප්‍රදේශය ශාක්‍යයන්ගේ ජනපදයක් වන බැවිනි.
එකල සමාජයේ මුලසුන හෙබවූයේ බ්‍රාහ්මණ සමාජයයි.නමුදු බෝසතාණෝ ක්ෂත්‍රීය කුලය හෙවත් රජ කුලය වඩා සුදුසු බව නීර්ණය කරන ලදී. මන්ද රටක රාජ්‍යයක අභිවෘද්ධිය ,පැවැත්ම සදහා මනා රාජ්‍යය පාලනය පිටිවහලක් වන බැවිනි. මෙසේ බුද්ධෝත්පත්තියෙන් පසුව එතෙක් පැවති බ්‍රාහ්මණ, ක්ෂ්ත්‍රීය, වය්ශ්‍යය, ශුද්‍ර යන චතුර් වර්ණ න්‍යාය, පළමුව ක්ෂත්‍රීය දෙවනුව බ්‍රාහ්මණ ලෙස හදුන්වනු ලැබේමෙන් කුලය තෝරාගැනීමේ වටිනාකම පහදා දෙනු ලැබේ.
සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් බුදුන් වහන්සේගේ මව් වීම සදහා පාරමී දම් පිරූ මෑණිය ලෙස මහාමායා දේවීන් හදුනාගන්නා ලදී. මාතුපෝසක ජාතකයේ සදහන් වන පරිදි බෝසතාණෝ බුදුවීම සදහා මණෝපණිදාය හෙවත් අරමුණ උපදවාගන්නේ එම මෑණියන්ගේ ප්‍රකාශයකිනි. තම දිවි ගලවාගත් පුතණුවන් හට "මගේ පුතා මතු බුදු වේවා" ලෙස කල ප්‍රකාශයෙන් බෝසතාණෝ බුදුවීමට අරමුණ උපදවාගන්නා ලදී. එසේම මහාමායා දේවීන් තවත් දස මසක් හා සතියකට පමණක් ආයුෂ ඇති බැවින්ද යන කරුණු පාදක කරගනිමින් බෝසතාණෝ මහාමයා දේවින් තම මව් වශයෙන් හදුනාගන්නා ලදහ.
මේ අයුරින් කාලය, දීපය, කුලය, මව යන පංච විලෝකනයන් පිළිබඳව විමසා බැලූහ.

තුසිත භවනෙහි තමන් වෙනුවට තම උපරාජයා ලෙස මතු බුදුවන බෝසතුන් වන ම්‍යෛත්‍රී බෝධි සත්වයන් පත්කර බෝසතාණෝ තුසිත දෙව් ලොවෙන් නික්ම මහාමායා දේවින් කුස පිලිසිද ගත්හ.
රසවාහිනිය, ජාතකට්ඨ කතාව, ථූපවංසය යන බුදුන් වහන්සේගේ ධර්මය ඇතුලත් ග්‍රන්ථයන්ග් භාග්‍යවතුන් වහන්සේ තුසිත දෙව් ලොව උපත ලද බවත්,එහිදී දිව්‍ය සමූහයා උන්වහන්සේට කල ආරාධනයත් ජීවමාන ස්වරූපයෙන් සනිටුහන් කර ඇත.
මෙලෙස මහා කරුණා ගුණ සමාපත්තියෙන්, ලෝවැසියන් සසර කතරින් එතෙර කිරීමට අප මහා බෝසතාණන් මුලු ලොව ම ආලෝකවත් කරමින් ලෝක ධාතුව විශ්මයට පත් කරමින් ආශ්චර්යය ඇති කරමින් වෙසක් පුන් පසලොස්වක පොහෝ දිනක ලුම්බිණි සල් උයනේදී මෙලොව උත්පත්තිය ලැබූහ.
 
 
 රොහානී සේනානායක
17 වසර කණ්ඩායම

No comments:

Post a Comment