බුද්ධිමතුන් බුදුරදුන් වටා එක් වීම

    බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරමින් අවිදු අදුරෙන් වැසී තිබූ ලොව ආලෝකවත් කළ සේක. බුදුදහම බුද්ධියට ගෝචර වන්නා වූ දහමකි. එම නිසා දහම් රසයට සිත් ඇතිව බුදුරදුන් වටා එක් වූයේද, ධර්මය තුළින් තම තෙවැනි ඇස වූ බුද්ධි ඇස අවදි කර ගන්නා ලද වුවන්ය. බුද්ධත්වයෙන්  පසුව  තමන් වහන්සේ වටහා ගත් ගැඹුරුතම දහම දේශනා කිරීමට සුදුස්සෙකු විමසන බුදුරදුන් තමන්  වහන්සේට කලක් උපස්ථාන කල පස්වග මහණුන් ඒ සදහා සුදුසු බව තීරණය කල සේක. ගැඹුරු  බුදුදුහම සිය මනසින් වටහා ගෙන නිවන් මග දොරගුළු විවර කර ගත්  ධර්මයේ නිරාමිස රසය පළමුව භුක්ති විදීමේ අවස්ථාව හිමි වූයේ පස්වග මහණුන්ටය.  ජීවිතයයේ යථාර්ථය  සොයා බුදුරදුන් වෙත පැමිණි "යස" නම් කුලවත් තරුණයාත්, ඔහුගේ යහළුවන්  පනස් හතර දෙනාත් නිවන සාක්ෂාත් කර ගත්හ. එයින් පළමු රහත් සැට නම නිර්මාණය වීමත් සමග ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්මය පැතිර  වීමේ නියලුණාහ. ඒ සමඟ පෙර නොඇසූ විරූ දහමක් වූ බුදුදහම ගම් නියම්ගම්  සිසාරා ජනයා වෙත සමීප විය.
    භද්දවග්ගිය කුමාරවරු, උරුවෙල් දනව්වෙහි සිටි එකල පරසිදු තුන් බෑ ජටිලයන් හා ඔවුන්ගේ අනුගාමිකයන්  පිරිස් බුදුදහමෙහි හරය නුවැණසින් අවබෝධ කොට ගෙන අරහත් භාවය සාක්ෂාත් කරගත් මුල් පිරිස් වූහ. ජීවිතයේ හරය සොයමින් ගිය කෝලිත උපතිස්ස දෙමිතුරන් බුදුරදුන් ගැන කරුණු අසා පැහැද නිවන් දකිනු රිසිව බුදුරජාණන් වහන්සේ සොයා පැමිණ දහම් අසා සැරියුත්, මුගලන් නමින් පැවිදිව නිවන් මග දොරගුළු විවර කර ගත්හ. පුරනා ලද පාරමී සහ බුද්ධි බල මහිමය නිසා බුද්ධ ශාසනයේ අගසව් තනතුරු වල හිමිකමද උන්වහන්සේලා සතු විය. අනෝමා නදී තෙර අනුපිය අඹ වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කල්හි එහි පැමිණි භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්ඹිල, දේවදත්ත යන කුමාරවරු හා උපාලි කපුවාණන්ද බුදුරදුන් වෙත පැවිදි විය. පසු කලෙක දෙව්දත් තෙරුන් බුදු රදුන්ට එරෙහිව කටයුතු කලත් අනෙක් තෙරුන් වහන්සේලා ධර්මය අවබෝධ කොට ගනිමින් ශාසනයේ චිරස්ථිතිය පිණිස උදාර මෙහෙයක් ඉටු කරමින් කීර්තිමත් ජීවිත ගත කලහ. බුදුදහමෙහි විවෘත දහමක් විය. ඒ නිසා කුල භේද, වත් පොහොසත් කම් කිසිවක් බුදු සසුනේ මග අහුරන්නට සමත් නොවීය. මෙකී නොකී තවත් බොහෝ ජීවිතයේ යථාර්ථය සොයා ගිය බුද්ධිමතුන් බුදුරදුන් හමුවී පැවිදිව නිවන් මග විවර කර ගත් හ.
    බුද්ධ කාලීන භාරතීය ජන සමාජය තුළ කාන්තාවනට හිමි වූයේ යහපතක් ස්ථරයක් නම් නොවේ. කාන්තාවනට හිමි නිසි තැන තබා බුද්ධිමත් කාන්තාවන්ගේ අදහස් වලට පවා එකල බමුණු සමාජය තුළ පිළිගැනීමක් නොවීය. කාන්තා බුද්ධියට පවා නිගරු කළ සමාජයක, බුදුදහමේ දොරගුළු බුද්ධිමත් කාන්තාවනට විවර විය. තම ආගම පවා ඇදහීම තහනම් වූ බමුණු සමාජයක බුදුදහම තුළ භික්ෂූනී ශාසනය පවා ස්ථාපිත විය. බුද්ධ මාතාව මුල් කොට ඇති වූ භික්ෂූනී ශාසනය වටා යශෝදරා, උත්පලවණ්ණා ආදී වූ බුද්ධිමත් කාන්තාවන් රොක් වී නිවී සැනසුම ලත්හ.
    බුදුරදුන් වටා එක් වූයේ පැවිදි බුද්ධිමතුන් පමණක් නොවේ. රජගහනුවර පාලනය කල බිම්බිසාර රජතුමා බුදුරදුන් කෙරෙහි ඉමහත් ගරුත්වයක් දැක්වූ අයෙකි. හෙතෙම බුදුන්වහන්සේගේ ධර්මය අසා සෝවාන් විය. බුද්ධ ශාසනයේ මුල් දායක තනතුරු ලැබූ සුදත්ත හෙවත් අනේපිඬු සිටුවරයාද, ඔහුගේ කණිටු දියණිය සුමනාවෝද, විශාඛා මහා උපාසිකාව ආදී කොට වූ ගිහි බුද්ධිමතුන් ද බුදුරදුන් වටා ගොනු විය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵල ලබා සසර ගමන කෙටි කර ගත්හ.
වික්ටර් රත්නායකයන්ගේ  " බුදුහාමුදරුවො  අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒකාලේ,  නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ"  ගීයට අනුවම ඒ කාලේ පින් මද වන්නට ඇත. නමුදු බුද්ධියට ගෝචර වන දහමක වර්තමාන උරුමය ඔබ මා සියලු දෙනා සතුව ඇත. ඒ මාර්ගය අප ඉදිරියේ විවෘතව ඇත. ඉතිං අප කුමකට පමා වෙමුද, නොපමාව කුසල් දහම් වඩමු.



මධුෂානි සදරේඛා
16 වසර කණ්ඩායම

No comments:

Post a Comment