සම කාලීන කාන්තා සමාජයේ නිදහස පිළිබඳ සුවිශේෂී ජයග්‍රහණයක් වූ භික්ෂූණි සමාජය පිහිටුවීම.

    බුද්ධ ශාසනයේ කාන්තා පැවිද්ද ආරම්භ වීමත් සමගම සමකාලීන භාරතීය ජන සමාජයේ සුවිශාල සමාජ පරිවර්තනයක මුල පිරීමක් සිදුවිය. පුරුෂ පක්ෂයේ දාසියක ලෙස ගෘහ ජීවිතයට පමණක් සීමා කර තිබූ කාන්තාවගේ බුද්ධිය හා සේවය එතැන් සිට පුරුෂයා හා සමාන අයිතිවාසිකම් ලබමින් සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර  කරා විහිද යන්නට විය. මෙහිලා පූර්ණ ගෞරවය හිමිවන්නේ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියටය.එහිදී ආනන්ද තෙරුන්ගෙන් ලැබුණු අනුග්‍රහය ප්‍රශංසාර්භය.

  _ භික්ෂූණි සමාජය ආරම්භ වන්නේ භික්ෂු සමාජය ඇරඹී වසර පහකට පමණ කලකට පසුය. බුදුරදුන් කිඹුල්වතට වැඩි කාලයේම මහා ප්‍රජාපතී ගෝතමියටත්, රාහුලමාතා වූ යශෝධරාවටත් පැවිදි වීමට ආශා ඇතිවිය. එහෙත් සසුනෙහි යහපත සලකා බුදුරජාණන් වහන්සේ කාන්තා පැවිද්ද මදක් පමා කළ බව දැක්වේ. ජීවිතය කෙරෙහි මහත් සේ කළකිරී ‘’කෙසේ හෝ පැවිද්ද ලබමි’’ යි අධිෂ්ඨාන කොටගෙන හිසකේ මුඩුකොට , කසාවත් හැද පිරිවර පන්සියයක් ස්ත්‍රීන් සමග යොදුන් එකසිය පණහක් දුරු මග ගෙවා වේශාලියෙහි කූඨාගාර ශාලාව වෙත පැමිණ දොරටුව අබියස හඩමින් සිටියාය.
    ඇය කෙරෙහි බලවත් සේ අනුකම්පා කළ ආනන්ද තෙරණුවෝ බුදුරදුන් වෙත එළඹ ප්‍රජාපතී ගෝතමිය පැවිද්ද පතා පැවිදි වෙස් ගෙන බොහෝ දුර ගෙවා පැමිණ සිටින බව සැල කළහ. ඇය අතිශය පීඩාවකින් යුතුව විහාරය දොරටුව අබියස හඩමින් සිටින බවත්, ඇයට පැවිද්ද ලබාදීම සුදුසු බවත් පැහැදිලි කළහ. එය තුන්වෙනි අවස්ථාව දක්වා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක. එයින් පසුබට නොවූ අනද තෙරණුවෝ " ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, යම් කාන්තාවක් සසුන්ගත වී විදසුන් වඩත් නම් ඇයට මාර්ගඵල ලබාගත හැකිද" යි විමසූහ. " ආනන්දය, ධෛර්යයෙන් උත්සහ කරන කාන්තාවට නිවන අවබෝධ කරගත හැකිය " යි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සේක. අනද තෙරුන්ගේ බලවත් ඉල්ලීම මත බුදුරදුන් " ආනන්දය, එසේනම් ප්‍රජාපතී ගෝතමිය අෂ්ඨ ගරු ධර්ම පිළිගෙන පිළිපදින්නී නම් එයම ඇයගේ මහණ උපසම්පදාව වන්නේය " යි කාන්තා පැවිද්ද අනුමත කළ වදාළහ. අෂ්ඨ ගරු ධර්ම විස්තර කරමින්,

1. උපසපන් වී වස් සියයක් ඉක්මවූ මෙහෙණිය ද එදිනම උපසපන් වූ භික්ෂුව දැක ගරු කළ යුතුය.
2. භික්ෂුණිය භික්ෂුන් නැති පෙදෙසක වස් විසීම නොකළ යුතුය.
3.අඩ මසකට වරක් භික්ෂුණිය, භික්ෂූන් මුණගැසී පොහොය විචාරීම, අවවාද ලබාගැන්මද කළ යුතුය.
4. භික්ෂුණියක වස් අවසන භික්ෂු , භික්ෂුණි යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.
5. භික්ෂුණිය අතින් ගරුකාපත්තියක් ( දැඩි වරදක්) සිදු වූ විට පිරිසිදු වීමට භික්ෂු, භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ දෙපෝයක් පුරා විනය කර්මය සිදු කළ යුතුය.
6. භික්ෂුණිය උපසම්පදා වීමට පෙර ඒ සදහා අවශ්‍ය ප්‍රතිපත්ති පුරමින් සික්ඛ මානවක වශයෙන් දෑවුරුද්දක් ප්‍රගුණ කොට උභතෝ සංඝයා ඉදිරියේ උපසම්පදාව ලබාගත යුතුය.
7. භික්ෂුණියක් කිසිම විටෙක භික්ෂුවකට පරිභව නොකළ යුතුය.
8. භික්ෂුණිය භික්ෂූන්ට අවවාද දීම නොකළ යුතුය. භික්ෂූන් විසින් දෙනු ලබන අවවාද පිළිගත යුතුය.

    මෙම අෂ්ඨ ගරු ධර්ම මහත් ගෞරවයෙන් පිළිගත් ප්‍රජාපතිය ඇතුළු පන්සියයක් කාන්තාවෝ පැවිදි උපසම්පදාව ලදහ. එය වනාහි බුදුසසුන තුළ කාන්තා පැවිද්දෙහි සමාරම්භය විය. අග්‍ර ශ්‍රාවකයන් මෙන්ම, අග්‍ර ශ්‍රාවිකාවන් පිළිබඳ අග තනතුරු ද පිරිනැමීමෙන් භික්ෂු සමාජයට හිමි වරප්‍රසාද බුදුරජාණන් වහන්සේ භික්ෂුණි පිරිසට ද ලබාදෙන ලදහ.

     මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රථම තෙරණිය වූවාය. මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණියට භික්ෂූණින් අතර චිරරත් බව පිළිබඳ අග්‍රස්ථානය බුදුරජාණන් වහන්සේ විසින් පිරිනමන ලදී. ඇය පිරිනිවන් පෑ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පසු ගමන් කොට මාතෘත්වයට ගෞරව කළ සේක. එය වනාහී  බුදුරජාණන් වහන්සේගේ එකම පසු ගමනයි._ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවිකාවන් වූයේ ඛේමා සහ උප්පලවණ්ණා යන තෙරණිවරුන්ය. තවද ධර්ම කථික භික්ෂුණින් අතර අග්‍රස්ථානයෙහි පිහිටවූ ධම්මදින්නා තෙරණිය, විනයධර භික්ෂුණින් අතර අග්‍රස්ථානය ලැබූ පටාචාරා තෙරණිය, යශෝධරා හෙවත් භද්දකච්චායනා මහරහත් තෙරණිය ඇතුළු භික්ෂුණින් වහන්සේලා රැසක් ස්වකීය බුද්ධි මහිමය හෙලි කරමින් විමුක්තිය සාක්ෂාත් කොටගෙන අනාගත කාන්තා පරපුරේ විමුක්තිය තහවුරු කොට තැබූහ.



නෙත්මි සෙනරත්
16 වසර කණ්ඩායම

No comments:

Post a Comment