බුද්ධ චරිතයෙන් පෘතග්ජන අපට ගත හැකි ආදර්ශ

    වෙසක් සමයේ වෙනදා විදි සිසිලස, මිහිර අද අපෙන් තරමක් ඈත්ව ගොසිනි. එවන් සමයක තරුණ අපට තථාගත සම්බුදු පියාණන්ගේ ගුණ සිහි කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන්නට නවමු පිළිවෙත් සොයා යන්නට සිදුව ඇති පසුබිමක උන් වහන්සේගේ සම්බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ සිහි කොට ඒවාට අනුගත වීම පෘතග්ජන අපගේ මෙලොව  පරලොව ජීවිතය සුගතිගාමී කරනු වස් වැදගත් වනු ඇත. එනිසා ම එවන් ගුණ කෙරෙහි වඩ වඩාත් ඔබ අපේ සිහි යොමු කිරීම මේ වෙසක් සමයේ උන්වහන්සේට කරනා මහත් පුණ්‍ය කර්මය ම වනු ඇත. ශ්‍රේෂ්ඨ චරිතයක් පිළිබඳ උගැනීමේ අරමුණ එතුළින් අප දිවිය ද ආලෝකමත් කර ගැනීමයි. ඒවායින් ද අපට ඉතාම වැදගත් පහත චරිත ලක්ෂණ කෙරේ අප අවධානය යොමු කරමු.

    • අටලෝ දහමින් කම්පා නොවීම

 “ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති,
අසෝකං විරජං ඛේමං - ඒතං මංගල මුත්තමං”

    මංගල සූත්‍රයේ දෙසු පරිදි ම උන්වහන්සේ ලාභ, අලාභ, යස, අයස. නින්දා, ප්‍රශංසා, සැප හා දුක් යන අටලෝ දහම කෙරෙහි කම්පා නොවීය. බුදුරදුන්ට විවිධ රජ මැතිදුන් ප්‍රශංසා කළ අතර ම අක්කෝස භාරද්වාජ වැනි බමුණන්ගේ පරිභවයට ද ලක්විය. එහිදී උන්වහන්සේ “බමුණ ඔබේ නිවසට පැමිණි අයෙකු ඔබේ සංග්‍රහය නොපිළිගන්නේ නම් එය ඔබට ම වන්නාක් මෙන් එය පෙරළා ඔබට ම කරන වෙයි” යනුවෙන් වදාල සේක. අපේ එදිනෙදා දිවියේ ඔබේ වසර කණ්ඩායමේ ද මෙවන් අපහාස කරන්නන් කොතෙකුත් සිටිනවා ඇති. එය කෙතෙක් ඔබ භාර ගන්නේ ද, එලෙස භාරගෙන ඔබ ඔබටම හානි පමුණුවා ගන්නේ ද යන්න මේ වෙසක් සමයේ නැවත සිතා බැලිය යුත්තකි.
 
    අනුන්ගේ මතවලට සාවධාන ව ඇහුම් කන් දුන් බුදුරදුන් ඒවාට ගරු කොට සිය මතය වෙනස් කළ අවස්ථා අප මතකයේ ඇත. තව ද තම ශ්‍රාවක පිරිස කෙරෙහි ද බෙහෙවින් සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළ සේක. වෙනත් ආගමික කොට්ඨාස කෙරේ හානි පැමිණවීමට කිසිවිට ක්‍රියා නොකළ සේක. විවිධ ප්‍රතිචාර ඔස්සේ දැඩි තීන්දු වලට යොමුවන අය මෙය ප්‍රගුණ කළ යුතුම වෙයි.  තවද පිරිනිවන් මංචකයේදී තමාගෙන් ප්‍රශ්න ඇසීමට ඇතොත් විමසන ලෙසත්, එලෙස නොහැකි නම් මිතුරෙකු ලවා හෝ එය නිරාකරණය කරගන්නා ලෙසත් පැවසීය.  මෙය තමා වටා සිටිනා පිරිස කෙරෙහි උන්වහන්සේගේ තිබූ වගකීම පිළිබිඹු කරයි.

    • අවවාදය සහ ආදර්ශය

    අප සමාජයේ පුරවැසියන් අතර අද ගිලිහී යන්නේද මෙම ගුණයම ය. උන්වහන්සේගේ දිවියේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ උන්වහන්සේ ප්‍රකාශ කළ දෑ සහ උන්වහන්සේගේ ක්‍රියාව අතර පරස්පරතාවක් හෝ නොගැලපීමක් නොතිබීමයි. මෙය ම අප යථාවාදී තථාකාරී හා තථාකාරී යථාවාදී ගුණය ලෙස හඳුනා ගනී. ඔබ ඔබේ මිතුරන්, දෙමාපියන්, ආචාර්යවරුන්, සහෝදර සහෝදරියන්, පෙම්වතා / පෙම්වතිය කෙරේ විශ්වාසය ගොඩනැගීමෙහිලා මෙය වැදගත් ම වෙයි. විශ්වාසයෙන් තොර කිසිඳු බැඳීමක පැවැත්මක් නොම වෙයි. ඔබ පවසන දෑ ඔබ තුලින් නිර්මිත වන තාක්කල් ඔබ කෙරේ විශ්වාසය ද ඉහළ යනු ඇත.

    •පැහැදිලි අරමුණ සහ ඒ වෙනුවෙන් වූ කැපවීම

    බෝසතාණන් වහන්සේ සත්‍ය සොයා යනු පිණිස විවිධ මඟ උත්සාහ දැරූ සේක. එලෙසම දුකෙන් මිදීමේ මාර්ගය සොයනු පිණිස දැඩි වෙහෙසක් දැරීමට ද සිදුවිය. ප්‍රථමයෙන් එකල ප්‍රසිද්ධ ගුරුවරුන් අනුගමනය කොට එයින් නිවන් ලැබීමේ මාර්ගය අවබෝධ නොවන බව වටහා ගෙන අනතුරුව තමන්ගේම මඟක් ඔස්සේ නිවන සොයා යන්නට වෙහෙසීය. අනතරුව දුෂ්කර ක්‍රියාව එහි අන්තයටම ගෙන ගොස්, සිරුරට අධික දුක් දෙමින් සැප සේවීම අරමුණ විය. සය වසරකට පසුවත් සාර්ථක නොවූ කල්හී තමා සමඟ සිටි පස්වග තවුසන් තමා හැර යන බව දැන දැන ම දුෂ්කර ක්‍රියා ප්‍රතිපදාවෙන් සමුගත් සේක. අරමුණ කෙරෙහි දැඩිව සිත යොමා ස්ව ශක්තියෙන්ම මැදුම් පිළිවෙත සොයා, එය අනුගමනය කරන ලද සේක. එහිලා මාර සේනාව පරදවනු පිණිස උන්වහන්සේ පැවසුයේ “ අරාජිතව ජීවත් වීමට වඩා සටනේදී මිය යාම අගනේ ය ” යන්නයි.
    එනිසා ම තරුණ අප ද පැහැදිලි දැක්ම, ධෛර්යය හා නොපසුබස්නා උත්සාහය පෙරදැරිව කටයුතු කිරීම ජීවිතය සුවඳවත් කරනු වස් මහෝපකාරී වනු ඇත.

        • පරාර්ථය වෙනුවෙන් කැපවීම හා කාල කලමනාකරණය

    අප වටා සිටින හිතමිත්‍රාදීන් වෙනුවෙන් කැපවන්නට කාලය කළමනාකරණය ඉතා වැදගත් ය. උන්වහන්සේ තම ධර්ම ප්‍රචාරක චාරිකාවේ කාලය නිසි ලෙස යොදා ගත සේක. අප අසා ඇති පරිදි තුරිත චාරිකා සහ අතුරිත චාරිකා ලෙස උපකාරය අවැසි ජනයා සොයා වැඩි සේක. දවස නිසි ලෙස බෙදා ගනිමින් “ පෙර බත් කිස ” සහ “ පසු බත් කිස “ ලෙස දිනකට දෙවරක් පමණක් දන් වැළඳී බුදුරදුන්, අලුයම අවදි වූ සේක. එසමයේ මහා කරුණා සමාපත්තියෙන් ලොව දෙස බලා පිහිටක් අවැසි පෘතග්ජනයන් සොයා ධර්ම චාරිකාවේ යෙදුණ සේක. පසුබත් කිසෙහි ද භික්ෂු භික්ෂුණීන්ට ධර්ම දේශනාව සහ භාවනාව ප්‍රගුණ කිරීමට යෙදවූ සේක.
    රාත්‍රී සමය පවා පෙරයම් කිස, මැදියම් කිස හා පැසුළුයම් කිස ලෙස සමාන කොටස් තුනකට බෙදා උපාසක, උපාසිකාවගේ සිට දෙව් බඹුන් තෙක් දහම් දෙසුමට සහ සක්මන් භාවනාවේ යෙදුමට යොදා ගත් සේක.
    අනාගතයේ රටේ තීරණ ගන්නා තැන් කරා ගමන් ගන්නා විද්‍යාර්ථයින් වන අප නිසි පරිදි වැඩ බෙදා ගැනීම පිළිබඳ අගනා පාඩම් බුදු සිරිත කියා දෙයි. බහුතරයක් ඔබට ඇති කාල කලමනාකරණ ගැටලුව විසඳීමට නම් ඔබේ දෛනික දිවිය ගෙවෙන අයුරු පිළිබඳ යහ අවබෝධයත්, වැඩ කිරීමට සුදුසු ම කාලය සොයා ගැනීමත්, ඔබේ ප්‍රමුඛතාවන් හඳුනා ගැනීමත්, කාලය නිකරුණේ වැය වන මොහොතන් හා බාධාවන් සොයා ගැනුමත් වැදගත් වනු ඇත.

බුදු සිරිතෙන් නිසි ආදර්ශ ලබා අපේ දිවිය ආලෝකමත් කර ගැනුමට නිසි අදිටන් ඇති කර ගනිමු!



ලවිඳු සචින්ත මෙදේරිපිටිය
14 වසර කණ්ඩායම

No comments:

Post a Comment